පොදුරද මඬුලූ වරම් සොයා….

මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් කඩයිම ලෙස ක‍්‍රියාත්මක කෙරෙන පිරිමි සහ කාන්තා බර ඉසිලීමේ තරගාවලිය ට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10 දෙනෙකු තරග වදිති.

පොදුරද මඬුලූ වරම් සොයා  බර උසුලන්නෝ සිංගප්පූරුවට

ඉසුරු කුමාර (55 ට අඩු බර පංතිය), චතුරංග ලක්මාල් (67 ට අඩු බර පංතිය), මධුරංග විජේසිංහ (67 ට අඩු බර පංතිය), ඉන්දික චතුරංග දිසානායක (73 ට අඩු බර පංතිය), ඇන්ටන් සුදේශ් පීරිස් (73 ට අඩු බර පංතිය), සමන් අබේවික‍්‍රම (109 ට අඩු බරපංතිය) ශානක පීටර්ස් (109 ට අඩු බර පංතිය), උෂාන් චාරුක (109 ට වැඩි බර පංතිය), හංසනී ගෝමස් (49 ට අඩු බර පංතිය) සහ ශ‍්‍රීමාලී සමරකෝන් (49 ට අඩු බර පංතිය) එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.

පොදුරද මඬුලූ වරම් සොයා  බර උසුලන්නෝ සිංගප්පූරුවට

එළඹෙන ජුලි මස 28 සිට අගෝස්තු මස 08 දක්වා එංගලන්තයේ බර්මින්හැම් නගරයේ දී ක‍්‍රියාත්මක කෙරෙන මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට වරම් ලබා ගැනීම අනිවාර්ය ය. ඒ උදෙසා ක‍්‍රියාත්මක කෙරෙන අවසාන අවස්ථාවට මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 08 දෙනකු අද (24) දින සිංගප්පූරුව බලා පිටත්ව යති.

පුහුණුකරුවන් වන ආර්.බී. වික‍්‍රමසිංහ සහ නාලක අතුකෝරල මහත්වරුන් සමගින් ඇන්ටන් සුදේශ් පීරිස් සහ සමන් අබේවික‍්‍රම යන ක‍්‍රීඩකයන් දෙපළ ඊයේ (23) දිනයේදී  සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර සෙසු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 08 දෙනා සමග රුක්ෂාන් ගුණතිලක සහ නදීකා බණ්ඩාර යන පුහුණුකරුවන් දෙපළ අද (24) දින දහවල් සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය. ඉසුරු කුමාර, චතුරංග ලක්මාල්, මධුරංග විජේසිංහ, ඉන්දික චතුරංග දිසානායක, ශානක පීටර්ස්, උෂාන් චාරුක, හංසනී ගෝමස් සහ ශ‍්‍රීමාලී සමරකෝන් එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල ආශ‍්‍රිතව පදක්කම් දිනා ගෙන ඇති ඇන්ටන් සුදේශ් පීරිස්, ඉන්දික චතුරංග දිසානායක, චතුරංග ලක්මාල් ජයසූරිය සහ හංසනී ගෝමස් ද මෙවර තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා ඉදිරිපත්ව සිටිති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර