‌ශ්‍රී ලංකා කණ්ඩයමේ නව පුහුණුකරු ගැන දිමුත්ගෙන් අනාවැකියක්

මේ වනවිට පුරප්පාඩු  වී ඇති ‌ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතා පත් කර ගන්නේ නම් එය කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇති බව මේ වනවිට ඉන්දියානු සංචාරයට එක්ව සිටින දිමුත් කරුණාරත්න පවසයි.

ඉන්දියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් වැඩි දුරටත් පවසා ඇත්තේ තමන් ඇතුළු බොහෝ ක්‍රීඩකයින් පළමු පෙළ ක්‍රීඩා කරන අවධියේදී හතුරුසිංහ මහතාගෙන් ගුරු හරු කම් ලබා ඇති බවත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය භාර ගත හොත් එය මේ වන විට පවතින ශ්‍රී ලංකා කණ්ඩායමේ පසු බෑම මගහරවා ගැනීමට ඉවහල් වනු ඇති බවත්ය. කෙසේවෙතත් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වන්නේද නැද්ද යන්න පිළිබදව තමන් මේ දක්වා කිසිම ආකාරයකින් දැනුම්වත් වී නොමැති බවද හෙතෙම පවසා ඇත.

කෙසේවෙතත් මේ වන විට බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ  ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කරන චන්දික හතුරුසිංහ මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති බව එරට ක්‍රිකට් සභාපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබූ නමුදු එම ඉල්ලීම භාරගන්නේද නොගන්නේද යන්න ප්‍රකාශයට පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ දක්වා පියවර ගෙන නොමැත.