‌වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස බර්ශිම් හා තියාම් නම් කෙරේ

පසුගියදා පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලන වාර්ෂික සම්මාන ප්‍රධාන උළෙලේදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසින් කටාර් රාජ්‍යයේ මුටාස් එස්සා බර්ශිම් සහ බෙල්ජියමේ නෆිස්සටු තියාම් සම්මාන හිමිකර ගැනීමට සමත්විය.
මේ වනවිට 26 වැනි වියෝ පසුවන උස පැනීමේ ශූරයකු වන බර්ශිම් නිමාවූ ලන්ඩන් ලෝක ශූරතාවලියේදී මීටර් 2.43ක දක්ෂතාවයක් පෙන්වමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව ඇති දක්ෂ ක්‍රීඩකයකු වන අතර මෙම සම්මානය ආසියානු කළාපීය රටක් හිමි කරගන්නා පළමු අවස්ථාවද මෙය බවට පත්විය.
මේ අතර කාන්තා අංශයේ වසරේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූ බෙල්ජියමේ තියාම් පසුගිය වසරේ පැවැති ඔලිම්පික් සත්ප්‍රයාම රන්පදක්කම් ලාභිනිය වන අතර ඇය පසුගිය වසරේදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලන සම්මාන උළෙලේදී හොඳම නැගී එන ක්‍රීඩිකාවට හිමි සම්මානයටද පාත්‍ර වූවාය.එම නැගී එන ක්‍රීඩිකාවගේ සම්මානය මෙවර දිනා ගනු ලැබූවේ වෙනිසියුලාවේ තුන්පිම්ම ශූරී යුලිමාර් රෝජාස් හටය.

මේ අතර කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් 2017 වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලන සභාපතිවරයාගේ සම්මානයෙන් පිදුම් ලැබීය.