රෙඩ් කාඩ් 4 – ක්‍රීඩකයන් 6කට තරග තහනම්

නිදහස් කුසලාන සිලෝන් පළාත් ලීග් පාපන්දු තරගාවලියේ ඌව පළාත හා මධ්‍යම පළාත් අතර තරගයේදී ක්‍රීඩකයන් අතර සිදු වූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් ඌව පළාතේ ක්‍රීඩකයන් 4ක් හා මධ්‍යම ක්‍රීඩකයන් 2ක් ඇතුළු ක්‍රීඩකයන් 6කට රතු කාඩ් පෙන්වා පිටියෙන් නෙරපීමට තරග විනිසුරු තරංග පුෂ්පකුමාර මහතා පියවර ගනියි. එතැන් සිට නියමිත කාලයේදී තරගය පැවැත්වීමට නොහැකි වූ අතර, පසුව අපතේ ගිය කාලය වෙනුවෙන් අතිරේක මිනිත්තු 27ක් දී තරගය නිමා කිරීමට විනිසුරු තීරණය කළේය. එබැවින් එම අතිරේක කාලයේදී ඌව පළාත් පිල ක්‍රීඩකයන් 7කින් හා මධ්‍යම පළාත් පිල ක්‍රීඩකයන් 9කගෙන් ක්‍රීඩා කළ හෙයින් තරග ප්‍රතිඵලය කණපිට හැරවිණි.

කෙසේ වුවද මේ ගුටිකෙළියට මැදි වූ සියලු ක්‍රීඩකයන්ට නිදහස් කුසලාන සිලෝන් පළාත් ලීග් පාපන්දු තරගාවලියේ ඉදිරි තරග සියල්ල තහනම් කරන බව බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය. “ක්‍රීඩාව විනය හදන තැනක්. විනය කඩන කිසි කෙනෙකුට සමාවක් නෑ” උමර් මහතා සඳහන් කළේය. තරග කොමසාරිස් එම්. රාජේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් සපයන අතර, එය විනය කමිටුවට යොමු කොට අවශ්‍ය තීරණ ප්‍රකාශ කෙරේ.

කන්තලේ ලීලාරත්න නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ඌව පළාත හා මධ්‍යම පළාත් අතර, තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර 63 වැනි මිනිත්තුව වන විට ගෝල් 1-0ක් ලෙස වැඩි වාසි ඌව පළාත සතුව තිබිණි. ඌව පළාතේ ක්‍රීඩකයන් 4ක් අහිමි වීමත් සමඟ අවසන් අතිරේක මිනිත්තු 27දී ගෝල් 2-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට මධ්‍යම පළාතට පහසු විය.

63 වැනි මිනිත්තුවේදී ඌව පළතේ ෆිරාස් සාහීර් ගෝලයක් රැස් කළ අතර, එම සතුට සැමරීමේදී ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයකුගේ ඇගේ හැප්පීම දුටු විනිසුරු පළමු රතුකාඩ් පත සාහීර් වෙත පෙන්වීමත් සමඟ ක්‍රීඩා පිටියේ කළබලය හට ගත්තේය. අනතුරුව පොලීසිය මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කළ අතර, නියමිත කාලයේදී තරගය ආරම්භ කිරීමට නොහැකි විය. අතිරේක මිනිත්තු 10ක් ගතවෙද්දී මොහොමඩ් ෂිමාක් හා අතිරේක කාලය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී මොහොමඩ් මිහිරාන් ජයග්‍රාහී ගෝල් මධ්‍යම පළාත වෙනුවෙන් වාර්තා කළහ.

ඌව පළාත් පිලේ ෆිරාස් සාහීර්, මොහොමඩ් අෆ්රාන්, කවිදු රවිහංස හා එරන්ද නන්දන රතුකාඩ් පත පෙන්වා පිටියෙන් නෙරපූ අතර, මධ්‍යම පළාත් පිලේ එස්.කේ. උමයිර් හා එච්.එච්. මොහොමඩ් ද එම ඉරණමට ලක් වූහ.

මඩකලපුව වේබර් ක්‍රීඩාංගණයේදී පැවති දකුණු හා උතුරු පළාත් අතර, තරගය ගෝල් 3-1කින් උතුරු පළාත ජය ලැබීය. දකුණු හා උතුරු පළාත් අතර තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක සිටි අතර තරගයේ 7 වැනි මිනිත්තුවේදී දකුණු පළාත් පිලේ සුපුන් ධනංජය අගනා ගෝලයක් රැස් කොට දකුණට ජීවයක් එක් කළ ද 32 වැනි මිනිත්තුවේදී එස්. නිදර්ශන් උතුරු පළාත් කණ්ඩායමට එක් කළ ගෝලයෙන් තරගය සම විය. අනතුරුව එස්. නිදර්ශන් 52 වැනි හා 69 වැනි මිනිත්තුවලදී තවත් ගෝල් 2ක් රැස් කර උතුරු පළාතේ ජයග්‍රහණය ස්ථීර කළේය. දකුණු පළාත් පිලේ ආර්.ඒ. චතුරංගට 73 වැනි මිනිත්තුවේදී තරග විනිසුරු ඒ.එම්. ජෆ්රාන් රතුකාඩ් පත පෙන්වා පිටියෙන් ඉවත් කළේය. තරග කොමසාරිස් ලෙස එම්.ආර්.එම්. සිනන් මහතා කටයුතු කළේය.

මේ තරග දෙකේ ප්‍රතිඵලයත් සමඟ පළාත් ලීග් පාපන්දු තරගාවලියේ උතුරු පළාත් පිල ලකුණු 7ක් සමඟ ඉදිරියෙන්ම සිටින අතර, සිය පළමු තරගය ජය ගත් මධ්‍යම පළාත් කණ්ඩායම ලකුණු 4ක් සටහන් කළේය.

නැඟෙනහිර පළාත කේන්ද්‍ර කොට මෙවැනි ප්‍රධාන පෙළේ පාපන්දු තරගාවලියක් වසර ගණනාවකට පසු පැවැත්වෙන හෙයින් මේ පළාත් පාපන්දු තරගාවලිය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටීම විශේෂත්වයක් විය.