පිට රට ක්‍රිකට් වලට යන ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් බැරියල් එකක්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9කට ක්‍රීඩා කිරීමේ අවසරය නොදීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනියි. මේ මස 21 වැනිදා ඩකා නුවරදී ආරම්භ වන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගිවීමට කැමැත්ත පළ කළද, ක්‍රිකට් ආයතනයේ අවසර ලිපියක් නොමැතිව සහභාගිවීමට නොහැකිය.

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව පැවැසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන භානුක රාජපක්ෂ හා ඇන්ජලෝ පෙරේරා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට සිටි ක්‍රීඩකයන් අතර වෙති. එමෙන්ම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම අවසන් වූ ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් ක්‍රීඩකයන් තිදෙනාද බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම උදෙසා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර සිටියහ. සීක්කුගේ ප්‍රසන්න, දිනේෂ් චන්දිමාල්, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටි තිසර පෙරේරා හා ඉසුරු උදාන ද බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට සිටි ක්‍රීඩකයෝ අතර වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හා ඇන්ජලෝ පෙරේරා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව පසුගිය සතියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළ අතර, අනතුරුව රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ක්‍රීඩකයන්ගේ හදිසි විශ්‍රාම ගැනීම් සම්බන්ධව හා විදේශීය ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීම සම්බන්ධව කොන්දේසි පැනවීමේ තීරණයට එළැඹියේය.

ඒ අනුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන් ඊට අදාළ නිවේදනය මාස 3කට පෙර ක්‍රිකට් ආයතනයට යොමු කල යුතුවන අතර ක්‍රීඩාවෙන් සමුගෙන විදේශීය ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන ක්‍රීඩකයන් වෙතොත් ඔවුන්ට ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන විරෝධතා නොමැති සහතිකය නිකුත් කරනුයේ විශ්‍රාම ගැනීමෙන් මාස 6 කට පසුව බව කොන්දේසිවල අන්තර්ගත විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන විරෝධතා නොමැති සහතිකය අහිමිවීමෙන් ෆෝර්චුන් බර්සල් කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක වෙනුවට ඩෙවෝන් බ්‍රාවෝ සිය කණ්ඩායමට ආදේශ කළ බව දැනටමත් නිවේදනය කර ඇත. එම කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිත වූ අතර, කුසල් මෙන්ඩිස් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම තෝරා ගෙන තිබිණි. තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න හා භානුක රාජපක්ෂ කුහුල්නා ටයිගර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතව සිටි අතර, දිනේෂ් චන්දිමාල් හා ඇන්ජෙලෝ පෙරේරා සිල්හෙට් කණ්ඩායම විසින් ද, ඉසුරු උදාන ඩකා කණ්ඩායම විසින් ද තෝරාගෙන තිබිණි. මේ ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ආදේශ සොයමින් සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසා සිටී.

මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත වී සිටින ක්‍රීඩකයන්ට එළඹෙන පාකිස්තාන සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා නොදීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබීමද විශේෂත්වයකි.