බොක්සිං තේරීම් වැට කඩාගෙන එයි

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි කරවීම උදෙසා පැවැති බොක්සිං තේරීම් පරීක්ෂණයේදී ජයග්‍රහණය කළ ක්‍රීඩකයන් කිහිපදෙනකු ඉවත් කොට පරාජිතයන් තෝරාගෙන ඇති බවට පේරාදෙණියේ කිංග්ස්වුඩ් බොක්සිං සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සමාජය, ශ්‍රී ලංකා බොක්සිං සංගමයට විරෝධතා ගොනු කරයි. පසුගියදා කොළඹ රාජකීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති බොක්සිං තේරීම් තරගයේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කළ නිරාජ් විජේවර්ධන එලෙස අසාධාරණයට ලක් වූ ක්‍රීඩකයකු බව කිංග්ස්වුඩ් බොක්සිං සමාජය ඉදිරිපත් කළ විරෝධතාවක සඳහන් වන අතර, ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩක එම්. වයි. එම් ඩිල්ෂාන් ක්‍රීඩකයා බලවත් අසාධාරණයකට ලක් වූ අයකු බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විරෝධතා ලිපියෙන් කරුණු ඉදිරිපත් කොට ඇත.

මේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගි කරවීම උදෙසා පැවැති බොක්සිං තේරීම් පරීක්ෂණයේ පැවැති සටන් අවසානයේ ජයග්‍රහණය කළ ක්‍රීඩකයාගේ අතක් විනිසුරු විසින් ඔසවා පෙන්විය යුතු වුවද එසේ නොකිරීමට විනිසුරුවන්ට උපදෙස් දුන්නේ කවුරුන් ද යන පැනය මෙහිදී මතු කොට ඇත. අන්තර්ජාතික බොක්සිං නීතිවලට අනුකූලව බොක්සිං සටන් අවසානයේ ජයග්‍රහණය කළ ක්‍රීඩකයාගේ අතක් විනිසුරු විසින් ඔසවා පෙන්විය යුතු වුවද මේ තේරීම් පරීක්ෂණයේදී එසේ නොවූ හෙයින් තේරීම් පරීක්ෂණය ප්‍රශ්න සහගත නොවන්නේ දැයි ශ්‍රී ලංකා බොක්සිං සංගමයට පෙන්වා දී ඇත.

බොක්සිං තේරීම් පරීක්ෂණයේදී නිරාජ් විජේවර්ධන සහභාගි වූ සටන අවසානයේ ජයග්‍රහණය කළ ක්‍රීඩකයාගේ අතක් විනිසුරු විසින් ඔසවා පෙන්වීමට කටයුතු නොකළද විනිසුරුවරුන්ගේ නිල නොවන ප්‍රතිඵලය අනුව 3:2ක් ලෙස නිරාජ් විජේවර්ධන ජයග්‍රහණය කර තිබු බව කිංග්ස්වුඩ් බොක්සිං සමාජය සඳහන් කර සිටී. එහෙත් පසුව එම සටනේ ජය එය වෙනත් බොක්සිං ක්‍රීඩකයකු සතු බවට ප්‍රකාශ කිරීමෙන් තම ක්‍රීඩකයාට අසාධාරණයක් වු බව ලිපිය මගින් දැනුම් දී ඇත. එබැවින් ජයග්‍රහණය කළ ක්‍රීඩකයාට සාධාරණය ඉටු කරමින් තීරණය නැවත සලකා බලන ලෙස කිංග්ස්වුඩ් බොක්සිං සමාජය ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙන් ඉල්ලා සිටී.

අන්තර්ජාතික බොක්සිං පිටියේ ශ්‍රී ලංකා ධජය ඉහලින් ඔසවා තැබීමට ඉමහත් දායකත්වයක් ලබා දුන් කිලෝග්‍රෑම් 69 වෙල්ටර් වේට් කාණ්ඩය යටතේ තරග කළ ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩක එම්. වයි. එම්. ඩිල්ෂාන් සහභාගි වූ තරගයේදී විනිසුරු විසින් තරගය නැවැත්වීමේ විධානය ලබාදී තිබියදී පහර එල්ල කළ ක්‍රීඩකයකු තෝරාගෙන ඇති බවත්, තම සමාජයේ ක්‍රීඩකයා ඉවත්කොට ඇති බවත් ගුවන් හමුදා බොක්සිං සමාජය ලිපිය මගින් සිහිපත් කොට ඇත. එබැවින් තම සමාජයේ දක්ෂ ක්‍රීඩකයා කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සිය විරෝධතා ලිපිය මගින් ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීම සනාථ කර ගැනීම උදෙසා අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ නීති රීති කිහිපයක් ද පෙන්වා දී තිබේ.