ආකීබ්ගේ කොළඹට ජය ගෙනෙයි

ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 06 වන සතියේ තරග ආරම්භ කරමින් ඊයේ (15දා) සවස කොළඹ රීඞ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේදී පැවති කොළඹ පාපන්දු සමාජය සහ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය අතර සටනින් ගෝල් 03 – 01 ක විශිෂ්ට ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට ‘මොමාස් යාපෝ’ ගේ නායකත්වයෙන් සමන්විත වූ කොළඹ කණ්ඩායමට හැකි විය.

තරගයේ ප‍්‍රථම භාගය නිමාවන විට ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණ ගත් කොළඹ ක‍්‍රීඩකයෝ දෙවන භාගයේ දී තවත් ගෝල් දෙකක් තම පිලට එකතු කර ගැනීමට සමත් වෙමින් මෙවර තරගාවලියේ සිව්වන ජයග‍්‍රහණය සටහන් කර ගත්හ.

ජාතික සහ ජාත්‍යන්තර තරග ආශ‍්‍රිතව තමන් ලද අත්දැකීම් උපරිමයෙන් ප‍්‍රදර්ශනය කිරීමට සමත් වූ එම්. එෆ්. මොහොමඞ් ආකීබ් කොළඹ සමාජ කණ්ඩායමේ කැපී පෙනුනම ක‍්‍රීඩකයා බවට පත් විය. පසුපෙළ සහ මැද පෙළ ක‍්‍රීඩකයන්ගේ උපරිම සහයෝගය ලබා ගනිමින් මනා පන්දු පාලනයක නිරත වූ මොහොමඞ් ආකීබ් කොළඹ ජයග‍්‍රහණයේ කප්පිත්තා බවට පත්වෙමින් ගෝල් ත‍්‍රිත්වයක් සටහන් කිරීමට සමත්වීම ඊයේ දිනයේ දී දක්නට ලැබුණු විශේෂත්වයකි.

තරගය ආරම්භ කළ 09 මිනිත්තුවේදී පළමු ගෝලය සටහන් කරමින් කොළඹ පිල ඉදිරියට රැුගෙන ගිය මොහොමඞ් ආකීබ් දෙවන භාගයේ පළමු මිනිත්තුවේදීම තම දෙවන ගෝලය රැුස් කරමින් කොළඹ පිල ජයග‍්‍රාහී මාවතට අවතීර්ණ කළේය.

තරගය ක‍්‍රියාත්මක වූ මිනිත්තු 90 තුළම පිටියේ දස්කම් දැක්වූ මොහොමඞ් ආකීබ් තම තෙවන ගෝලය 80 වැනි මිනිත්තුවේදී සටහන් කරමින් කැපී පෙනුණි.

රාමයියා ජේසූරාජ් බර්නාඞ්ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ ඩිෆෙන්ඩර්ස් පිල වෙනුවෙන් සටහන්වූ එකම ගෝලය 57 වැනි මිනිත්තුවේදී වාර්තා කිරීමට ජාතික ක‍්‍රීඩක රිෆ්කාන් මොහොමඞ් ට හැකි විය.

පැති විනිශ්චයකරුවන් ලෙස කටයුතු කළ ළහිරු මධුසංඛ සහ මොහොමඞ් අෂාඞ් යන මහත්වරුන්ගේ සහයෝගය ඇතිව නිවෝන් රුබේෂ් මහතා විසින් මෙම තරගය විනිශ්චය කරන ලදි.

කොළඹ පාපන්දු සමාජය ලත් මෙම ජයග‍්‍රහණයත් සමගින් මෙවර තරගාවලියේ සමස්ත ප‍්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණට පැමිණීමට හැකි විය. ඒ අනුව කොළඹට හිමිවී ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 කි. ඒ තරග 06 ක් ආශ‍්‍රිතවය.

තරග 05 කට සහභාගි වෙමින් ජයග‍්‍රහණ 04 ක් සහ ජය පරාජයෙන් තොරව අවසන් වූ එක් තරගයක් ආශ‍්‍රිතව සී හෝර්ක්ස් කණ්ඩායම ලබා ගෙන ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවද 13 කි.

අද (16) දින ප:ව: 03.30 ට නිව් යංග්ස් සහ රත්නම් අතර ද ප:ව: 07.30 ට සී හෝර්ක්ස් සහ බ්ලූ ස්ටාර්ස් අතර ද තරග පැවැත්වීමට සංවිධායකයින් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර