Home FOOTBALL බස්නාහිරට රජරට පළාතෙන් ප්‍රහාරයක්

බස්නාහිරට රජරට පළාතෙන් ප්‍රහාරයක්

ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සිටින බස්නාහිර පළාත් කණ්ඩායම ගෝල් 3-2කින් පරාජය කිරීමට වයඹ රජරට පළාත් කණ්ඩායම සමත් වෙයි. නිදහස් කුසලාන සිලෝන් පළාත් ලීග් පාපන්දු තරගාවලියේ මඩකලපුව වේබර් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ පළමු භාගයේදී ගෝල් 3-1ක් ලෙස ඉදිරියෙන් සිටි වයඹ රජරට පළාත තරගය නිමා වන තුරු එලෙසම තම ආධිපත්‍යය පතුරුවා ගැනීමට සමත් විය.

බස්නාහිර පළාත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ජාතික තලයේ විවිධ කණ්ඩායම් නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වුවද වයඹ රජරට පිලේ ආරක්ෂක වළල්ල ඉතා ශක්තිමත්ව ක්‍රීඩා කිරීමෙන් ගෝල් රැස් කර ගැනීමේ අවස්ථා කිහිපයක්ම වැළකී ගියේය. කෙසේ වුවද බස්නාහිර පළාත් ක්‍රීඩකයෝ තරගය අවසන් වන තුරු වයඹ රජරට පිලට එරෙහිව ප්‍රබල තරගයක් දීම කැපී පෙනිණි.

වයඹ රජරට පිලේ නායක චරිත රත්නායක හා මේ තරගයේ 14 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ලැබූ අෂිකුර් රහ්මාන් පමණක් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වූ අතර, අනෙක් බොහොමයක් ක්‍රීඩකයන් අත්දැකීම් අඩු මට්ටමේ සිටිති. තරගයේ 17 වැනි මිනිත්තුවේදී නෙත්ම මල්ෂාන් හා 33 වැනි මිනිත්තුවේදී මොහොමඩ් ඉන්ෆාස් වයඹ රජරට පිල වෙනුවෙන් ගෝල් වාර්තා කළ අතර, 39 වැනි මිනිත්තුවේදී සුපුන් නාලක හා 79 වැනි මිනිත්තුවේදී මොහොමඩ් අස්මීර් බස්නාහිර පිලට ගෝල් ලබා එක් කළහ. මේ තරගය එෆ්.එම්. ඉර්ෂාන් මහතා විනිශ්චය කළ අතර, තරග කොමසාරිස් ලෙස එම්. සිනන් මහතා කටයුතු කළේය.

මේ අතර කන්තලේ ලීලාරත්න නගර සභා ක්‍රීඩාංගණයේදී පැවති නැඟෙනහිර හා සබරගමුව අතර, තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. නැඟෙනහිර කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරග තුනම ජය පරාජයෙන් තොරව නිමා වීම කැපී පෙනේ. නැඟෙනහිර පළාත් පිලට තරගයේ 15 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් එල්ල කිරීමේ අවස්ථා උදා වුවද නායක මොහොමඩ් මුෂ්ටාක් එය නිසි පරිදි එල්ල කිරීමට සමත් වූයේ නැත. මේ තරගය පී.එච්.ඒ.පී. ඩයස් මහතා විනිශ්චය කළ අතර, තරග කොමසාරිස් ලෙස එම්. රාජේන්ද්‍රන් මහතා කටයුතු කළේය.

නැඟෙනහිර පළාත කේන්ද්‍ර කොට මෙවැනි ප්‍රධාන පෙළේ පාපන්දු තරගාවලියක් වසර ගණනාවකට පසු පැවැත්වූ හෙයින් මේ පළාත් පාපන්දු තරගාවලිය දැක බලා ගැනීමට විශාල පිරිසක් ක්‍රීඩාංගණවල සිටිනු දක්නට ලැබිණි.