Home CRICKET කන්නන්ගරය පරදා ආනන්දය කුසලාන දිනා ගනියි

කන්නන්ගරය පරදා ආනන්දය කුසලාන දිනා ගනියි


ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 15 න් පහළ දෙවැනි කොටස යටතේ පැවැති ක්‍රිකට් තරගයකදී මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල පරදා කඩුලු පහක ජයක් ලැබීමට මතුගම ආනන්ද ශාස්ත්‍රාල කණ්ඩායම (28 දා) සමත් විය.
මෙම තරගය දෙවිදුහලේම හිටපු ක්‍රිකට් භාර ආචාරය සහ ගණිත ගුරුවරයකු වූ ආනන්ද කොඩිතුවක්කු අභියෝගතා කුසලාන වෙනුවෙන් නම් කර තිබුණි. මතුගම මහජන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ කන්නන්ගර විදුහල ලකුණු 111 කට සීමා කිරීමට ආනන්ද ක්‍රීඩකයන් සමත් වූ අතර ඔවුන් අදාළ ඉලක්කය කඩුලු පහක් පමණක් අහිමිව ලබා ගනිමින් ආනන්ද කොඩිතුවක්කු කනිෂ්ඨ ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

තරගයේ හොඳම පිතිකරුවා වශයෙන් ආනන්ද ශාස්ත්‍රාල කණ්ඩායමේ වෙනුර (35 නොදැවී) සම්මාන ලැබූ අතර පන්දු යවන්නා වශයෙන් කන්නන්ගර විදුහලේ සෙතික සහ හොඳම පන්දු රකින්නා වශයෙන් එම විදුහලේ තියුගි සම්මාන ලැබීය. තරගයේ වීරයා සම්මානයෙන් ආනන්ද ශාස්ත්‍රාලයේ තීක්ෂණ සම්මාන ලැබු අතර ඔහු පන්දු යැවීමෙන් (48/6) සහ පිතිකරණයෙන් (21) ආනන්ද විදුහල ඔසවා තැබීමට සමත් විය.

ආනන්ද කොඩිතුවක්කු ගුරු පියාණන් මෙම දෙවිදුහලේම වසර පහළොව බැගින් සේවය කර තිබීම විශේෂත්වයකි.

තරගයේ අනුග්‍රහකත්වය වෙනුවෙන් මතුගම ගාමිණී මාවතේ පිහිටි ‘සරසි’ පොත්හල මෙන්ම වරාය අධිකාරි යාන්ත්‍රික ඉංජිනේරු සම්පත් කළුතන්ත්‍රි මහතාගේ දායකත්වය ලබාදී තිබුණි. පාසල් දෙකේ කණිෂ්ට ක්‍රීඩකයන්ට ආනගතයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් හපන්කම් දැක්වීමට මෙවැනි තරග සංවිධානය කිරීම ඔවුන්ට දිරිදීමක් වී තිබේ.

ලකුණු සාරාංශය
කන්නන්ගර විදුහල පන්දුවාර 19 ට සියල්ල දැවී ලකුණු 111 යි
ආනන්ද ශාස්ත්‍රාලය පන්දුවාර 26ග4 කදී කඩුලු 5 ට ලකුණු 113 යි