Home CRICKET අශීලාචාර සිද්ධිය ගැන කළමනාකරුගෙන් කරුණු විමසයි

අශීලාචාර සිද්ධිය ගැන කළමනාකරුගෙන් කරුණු විමසයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයෙකු සහ කණ්ඩායමට අනුයුක්තව සේවය කළ සෞඛ්‍ය නිලධාරිණිය අතර ඇතිවූවේ යැයි මාර්තෘකාවට බඳුන් වූ අශීලාචාර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස දන්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා වෙත දන්වා යවා තිබේ.
ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයට අනුව එහි දැක්වෙන පරිදි අදාළ ක්‍රීඩකයා සහ කණ්ඩායමට අනුයුක්තව සේවය කළ සෞඛ්‍ය නිලධාරිණිය අතර ඇතිවූවේ යැයි කියන විනය විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තාවල ඇත්ත නැත්ත සොය බලා කඩිනම් වාර්තාවක් ක්‍රිකට් ආයතනය වෙත ලබා දෙන ලෙස අසන්ත ද මෙල් මහතාගෙන් ඉල්ලා තිබේ. එහිදී ඔහු විසින් ලබා දෙන වාර්තාවේ කරුණු අනුව අවශ්‍යතාවක් සිදුවුව හොත් පමණක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කියා සිටී. මීට අමතරව එහිදී මෙම ක්‍රීඩකයා සහ සෞඛ්‍ය නිලධාරිණිය අතර යම් විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට සනාථ වුවහොත් අදාළ පාර්ශවයන් පිළිබඳ පැකිලීමකින් තොරව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ නිවේදනයෙන් කියා සිටී.