ඔස්ට්‍රේලියාව විස්සයි20 කිරුළ පලඳියි

හත්වැනි වරට පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ආරොන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් විය.

ඩුබායිහිදී පැවැති අවසන් මහා තරගයෙන් නවසීලන්තය කඩුලු 8කින් පරාජයට පත් කළ ඔස්ට්‍රේලියාව දිනාගත් මංගල විස්සයි20 ලෝක ශූරතාව මෙයයි. ටෙස් ලෝක ශූරතාව හිමි කර ගෙන සිටියද තවමත් අයිසීසී සීමිත ඕවර ශූරතාවක් දිනා නැති නවසීලන්තය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අනුශූරයන් වූයේ ද පළමු වරටය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 172කට සීමා කළ ඔස්ට්‍රේලියාව පන්දු 7ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

ලකුණු හඹා යෑම ඇරඹූ ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක ෆින්ච් දැවී යෑමෙන් පසු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමඟ එක් වූ මිචෙල් මාෂ් ජයග්‍රහණයේ අඩිතාලම දැමුවේ පන්දු 59කින් ලකුණු 92ක සබඳතාවක් ගොඩනඟමිනි.

හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 38කින් ලකුණු 53ක් රැස් කර සිටි වෝනර්, ට්‍රෙන්ට් බෝල්ට්ට දෙවැනි කඩුල්ල හිමි කර දෙමින් දැවී අතර, අනතුරුව ග්ලේන් මැක්ස්වෙල් සමඟ අර්ධ ශතක සබඳතාවක් සමඟින් මාෂ් කණ්ඩායම ඉලක්කය වෙත රැගෙන ගියේය. පන්දු 50කට මුහුණ දුන් ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 77කි. මැක්ස්වෙල් පන්දු 18කින් ලකුණු 28ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් බිඳ දැම්මේ මෙවර තරගාවලියේ කඩුලු 13 සම්පූර්ණ කරමින් ඇඩම් සම්පා සමඟ සම තත්ත්වයට පත් වෙමිනි. ඔවුහු දෙදෙනා වැඩිම කඩුලු ලාභියා වූ වනිඳු හසරංගට වඩා කඩුලු 3ක් පසුපසින් තරගාවලිය නිමා කළහ.

පළමු කඩුල්ල ලකුණු 28දී බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි නායක කේන් විලියම්සන් අර්ධ ශතකයක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම ගොඩනැඟුවේය.

මාටින් ගප්ටිල් (28) සමඟින් දෙවැනි කඩුල්ලට ලකුණු 48ක් එක් කළ කේන්, ග්ලේන් පිලිප්ස් (18) සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 37කිනි.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට පන්දු 48කින් ලකුණු 85ක් රැස් කර තිබුණේ හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟිනි. එය අවසන් මහා තරගයකදී ක්‍රීඩකයකු රැස් කළ ඉහළ ලකුණු සංඛ්‍යාව සම කිරීමක් ද විය. මින් පෙර 2016දී කොදෙව් ක්‍රීඩක මාලන් සැමුවල්ස් එම ලකුණු සංඛ්‍යාව රැස් කර තිබිණි.

නවසීලන්ත පිතිකරුවන් මිචෙල් ස්ටාක්ගෙන් ලකුණු 60ක් උදුරා ගත් අතර, එය වාර්තා අතරට එක් වූයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී පන්දු යවන්නකු ඕවර 4කදී දුන් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. මින් පෙර ලසිත් මාලිංග 2012දී කොදෙව් පිලට ලකුණු 54ක් දී තිබිණි. අවසන් තරගයේ වීරයා ලෙස මිචෙල් මාෂ් සහ තරගාවලියේ වීරයා ලෙස ඩේවිඩ් වෝනර් සම්මාන දිනා ගත්හ.

නවසීලන්තය – 172/4 (ඕවර 20) කේන් විලියම්සන් 85 (ජොෂ් හේසල්වුඩ් 16/3)

ඔස්ට්‍රේලියාව – 173/2 (ඕවර 18.5) මිචෙල් මාෂ් නොදැවී 77, ඩේවිඩ් වෝනර් 53 (ට්‍රෙන්ට් බෝල්ට් 18/2)