Home tennis ඔස්ට්‍රේලියානු රජය ජොකෝවික්ට පරදී

ඔස්ට්‍රේලියානු රජය ජොකෝවික්ට පරදී

ඔස්ට්‍රේලියානු රජය සිය වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව උසාවි ගිය ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩක නොවැක් ජොකෝවික් ඊයේ එම නඩුවෙන් ජය ගත්තේය. සිය සේවාදායකයාගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම කිසිදු සාධාරණ හේතුවකින් තොරව සිදු කර ඇතැයි ඔහුගේ නීතිඥවරුන් තර්ක කළ අතර, අවසානයේදී විනිසුරු ඊට එකඟ විය. ඒ අනුව ඔස්ට්‍රේලියානු රජයේ රැඳවුම් භාරයේ පසු වූ මේ සර්බියානු ක්‍රීඩකයා වහාම නිදහස් කරන ලෙසත්, ඔහුගේ අභියාචනාවට අදාළ සියලු වියදම් ගෙවන ලෙසත් විනිසුරු ඔස්ට්‍රේලියානු රජයට නියෝග කර තිබේ.

ජොකෝවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඔස්ට්‍රේලියාවේ ආගමන හා විගමන නිලධාරීන් පියවර ගත්තේ ඔහු කොවිඩ් නීතිරෙගුලාසි අනුව කටයුතු කර නැති බව කියමිනි. 34 හැවිරිදි මේ ක්‍රීඩකයා කොවිඩ් මර්දන කිසිදු එන්නතක් ලබා නැති බවට ද වාර්තා වේ. ඔස්ට්‍රේලියාවේ කොවිඩ් නීතියට අනුව එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන්ට එරටට ඇතුළුවීම තහනම් වේ.

නඩු තීන්දුව කෙසේ වෙතත් ජොකෝවික්ගේ වීසා බලපත්‍රය යළි අවලංගු කර ඔහු රටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාවේ ආගමන හා විගමන අමාත්‍යවරයාට තවමත් බලය තිබේ.

2019 සිට අඛණ්ඩව වසර 3ක් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා සිටින ජොකෝවික් ලබන 17 වැනිදා ආරම්භ වන මෙවර තරගාවලියේදිත් කුසලානය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.