ශ‍්‍රී ලංකාවෙන් සුබ පණිවිඩයක් එන තුරු පාකිස්තාන් ක‍්‍රිකට් ලොක්කන් බලා සිටියි

පාකිස්තානයේදී ටෙස්ට් ක‍්‍රීඩා කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කැමැත්ත ප‍්‍රකාශ කරන තුරු පාකිස්තාන් ක‍්‍රිකට් ප‍්‍රධානීන් නොඉවසිල්ලෙන් බලා සිටින බව වාර්තා වේ. වසර දහයකට පසුව පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවන්නේ ශ‍්‍රී ලංකාවේ තීරණය අනූව බව පාකිස්තාන් ක‍්‍රිකට් ප‍්‍රධානීන් පවසයි.
‘පාකිස්තානයට යළිත් ජාත්‍යන්තර කණ්ඩායම් එනවද නැද්ද කියන එක තීරණය වන්නේ ශ‍්‍රී ලංකාව ලබන ඔක්තෝම්බර් මාසයේදී මෙහි ආවොත් පමණයි. අපි හිතනවා අපේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම්වරයා ඇතුළු කණ්ඩායමට සෑහීමකට පත්වෙන්න ඇති කියලා. මොකද පාකිස්තානය දැන් එදා තත්ත්වයට වඩා ඉතාමත් හොඳ ආරක්ෂිත රටක්. අපි බලා සිටිනවා ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකාවෙන් පණිවුඩයක් එනතුරු’ යැයි පාකිස්තාන් ප‍්‍රධානියා මාධ්‍ය හමුවේ පවසයි.
2009.03.03 වැනිදා ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් ලොව කිසිදු රටක් පාකිස්තානයේදී ටෙස්ට් තරග හෝ ජාත්‍යන්තර තරග කිරීමෙන් වැලකී සිටියේය. අදාළ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් සහ පොලිස් නිලධාරීන් හය දෙනකුට තුවාල සිදුවෙද්දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තරංග පරණවිතාන, තිලාන් සමරවීර, අජන්ත මෙන්ඩිස් ඇතුළු ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම තුවාල ලැබීය.
පාකිස්තානයේ ක‍්‍රීඩා කිරීමට හැකි ආරක්ෂක තත්ත්වයක් තිබේද යන්න සොයා බැලීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරයක යෙදුණි. අදාළ කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වූයේ එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලක, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ජාත්‍යන්තර තරග සංවිධායක කමිටු ප‍්‍රධානී චන්දිම මාපටුන හා ¥ෂණ මර්දන නියෝජ්‍ය කළමනාකරු පාලිත සෙනවිරත්න යන මහත්වරුන් වේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා පාකිස්තාන් මාධ්‍ය හමුවේ පවසා සිටියේ, ‘‘අපිට 2009 දී කණගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුනා. එහිදී අපේ ක‍්‍රීඩකයන් තුවාල ලැබුවා වගේම පාකිස්තානයේ සිවිල් වැසියන්ද අනතුරුට ලක් වුණා. කොහොම වුණත් අපි මෙහි තත්ත්වය සම්බන්ධයෙන් සකස් කරගත්ත වාර්තාව ක‍්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කරලා එනවද නැද්ද කියන එක පිළිබඳව දන්වනවා.’’ යනුවෙනි.