කෝලිගේ විවාහයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඉතිහාස විවාහ අලුත් වෙයි (ඡායාරූප සහිතයි)

ඉන්දියානු නායක විරාට් කෝලි සිය විවාහ උත්සවය ඉතාලියේ අලංකාර නිවාඩු නිකේතනයකදී ඊයේ (11 දා) පවත්වනු ලැබීය. ඔහුගේ බිරිඳ වූයේ ඉන්දියාවේ ජනප්‍රිය නිළියක වන අනුෂ්කා ෂාර්මාය. සිය පවුලේ හිතවතුන්ට පමණක් මෙම විවාහ උත්සවය ආරාධනා කර තිබූ අතර අනෙකුත් මිතුරු මිතුරියන්ට කෝලි සහ අනුෂ්කා විසින් ලබන 21 වැනිදා මුම්බායිහිදී තවත් සාදයක් සංවිධානය කර තිබේ.
ඉතාලියේ බර්ගෝ ෆිනොෂියෝහි නිවාඩු නිකේතනයකදී පවත්වන ලද අතර කෝලි සහ අනුෂ්කා වසර කිහිපයක්ම පෙම්වතුන් ලෙස ඇසුරු කිරීමෙන් පසුව මෙම විවාහ උත්සවය සිදුකර තිබේ. මෙම විවාහයෙන් පසුව අතීතයේදී ක්‍රිකට් ක්‍රීඩකයන් විවාහ වූ නිළියන් සහ ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් යළිත් කතා බහට ලක්වීම විශේෂත්වයකි.
ක්‍රිකට් ක්‍රීඩකයන් විවාහ වු ප්‍රසිද්ධ බිරින්දෑවරු පහත පරිදි වේ
මන්ෂූර් අලී ඛාන් පතාවුදි සහ ෂර්මිලා ටැගොරි (1968)

ඉන්දියානු හිටපු ක්‍රිකට් නායකයකු වන මන්ෂුර් අලී ඛාන් පතාවුදි 1968 දී ෂර්මිලා ටැගොරි නම් බෝලිවුඩ් නිළියක් සමග විවාහ වී තිබේ. එය ඉන්දියාවේ රාජකීය විවාහයක් බවට එදා නොයෙකුත් කතා පැතිරිණි. පසුව මොවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකි. ඉන් දෙදෙනෙක්ම අද වන විට ඉන්දියානු සිනමාවේ ජනපි්‍රයම නළුවන් වන යසිෆ් අලී ඛාන් සහ සොහා අලී ඛාන්ය. මුන්ෂුර් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 46 කදී ශතක 6 ක් සහ අර්ධ ශතක 16 ක් සමග මුළු ලකුණු 2793 ක් ලබා තිබේ. ඔහු 2011 වසරේදී සිය 70 වැනි වියේදී මිය ගොස් ඇත.

මොහොමඩ් අසරුඩීන් සහ ජෙසීකා ටේලර් (2007)

ඉන්දියානු ක්‍රිකට් නායක මොහොමඩ් අසරුඩීන් විසින් සිය දෙවැනි කසාදය ලෙස බොලිවුඩ් නිළි ජෙසිකා ටේලර්ව විවාහ කරගනු ලැබීය. ඒ 2007 වසරේදීය. මෙම විවාහයද ඉන්දියාවේ ලැව් ගින්නක් මෙන් පැතිර ගියේ මොවුන් දෙදෙනාම ජනප්‍රිය වෘත්තීන්වල නියැලුණ හෙයිනි.

ෂොයිබ් මලික් සහ සානියා මිර්සා (2010)

පාකිස්තාන් හිටපු ක්‍රිකට් නායක ෂොයිබ් මලික් සහ ඉන්දියාවේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා 2010 වසරේදී විවාහ විය. පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින දේශසීමා අරගලය හේතුවෙන් මෙම විවාහයද ලැව් ගින්නක් මෙන් පැතිරී ගියේය. මොවුන් දෙදෙනාම දැනට ඩුබායි හී පදිංචිව සිටින අතර දෙදෙනාම සිය ක්‍රීඩාව තවමත් කරගෙන යනු ලබයි

තිලකරත්න ඩිල්ෂාන් සහ මංජුලා තිළිණි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ද විවාහ වූයේ ශ්‍රී ලංකාවේ නිළියක් වන මංජුලා තිළිණි සමගය. මෙම විවාහ උත්සවය ඉන්දියාවේ අයි.පී.එල්. තරගාවලියක් අතරතුරදී ඉන්දියාවේ පැවැත්වුණි.