ධනාගේ ධනාත්මක හරඹයෙන් ශ්‍රී ලංකාව ගොඩ යයි

සිය 38 වැනි ටෙස්ට් ක්‍රිකට් තරයේදී සටන්කාමී ශතකයකින් බටහිර ඉන්දීය කොදෙව්වන්ව හෙම්බත් කර දැමු ධනංජය ද සිල්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ඔසවා තබමින් සිව්වැනි දිනට තරගය නවතා දමන විට  කොදෙව්වන්ව අමාරුවේ දැමීමට සමත්වූයේ  ලකුණු පුවරුව කඩුලු 8 කට ලකුණු 328 ක් දක්වා ඉහළ දමමිනි.

ධනංජය ද සිල්වා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන් කරගෙන ඇත්තේ ලකුණු 173 කි. කෙසේ වෙතත් මෙම තරගයේදී ලකුණු 153 ක් සමගින් සිය හත්වැනි ටෙස්ට් ශතකය උදුරා ගත් ධනංජය ද සිල්වා පසුපෙළ පිතිකරුවන් සමග ශ්‍රී ලංකා ඉනිම ඇදගෙන යෑම විශේෂත්වයකි. එහිදී ඔහු නව වැනි කඩුල්ල වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය සමග ලකුණු 107 ක නොබිඳුනු සබඳතාවක් සිව්වැනි දිනය අවසන් වන විට වාර්තා කිරීමට සමත් විය.
පසුපෙළ පිතිකරුවකු වශයෙන් ශ්‍රී ලංකාවට සටනක් දිය හැකි ඉලක්කයක් ලබා ගැනීම වෙනුවෙන් පන්දු 110 කදී කඩුල්ල බේරාගත් ඇඹුල්දෙණිය ලකුණු 25 ක් ලබා ගත් අතර ධනංජය ද සිල්වා පන්දු 250 කදී හයේ පහර දෙකක් හතරේ පහර 11 ක් සමග ලකුණු 153 ක් ලබා සිටියි.
ශ්‍රී ලංකාව සිව්වැනි දිනය නිමා වන විට ලකුණු 279 ක් ඉදිරියෙන් සිටින අතර ගාලු තණතීරුවේදී සිව්වැනි ඉනිමේදී එවැනි හඹා යෑමක නිරත වීම දග පන්දු යවන්නන් හමුවේ දැල පිහියෙන් කිරි කන්නාක් මෙන් අතිශය අමාරු කර්තව්‍යයකි.
ලකුණු තත්ත්වය
ශ්‍රී ලංකාව පළමු ඉනිම 204 යි
බටහිර ඉන්දීය කොදෙව්වන් පළමු ඉනිම 253 යි
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 119 කදී කඩුලු 8 කට ලකුණු 328 යි. (දිමුත් කරුණාරත්න 6, පැතුම් නිශ්ශංක 66, ඕෂධ ප්‍රනාන්දු 14, චරිත් අසලංක 19, ධනංජය ද සිල්වා නොදැවී 153, දිනේෂ් චන්දිමාල් 2, රමේෂ් මෙන්ඩිස් 25, සුරංග ලක්මාල් 7, ඇන්ජලෝ මැතිව්ස් 1, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 25, පර්මුල් 100/3, රොස්ටන් 82/2 යි)