Home CRICKET ‘රාවල්පින්ඩි තණතීරුවේදී දෙසීයක් වුණත් ගහන්න තිබ්බා’-ධනංජය

‘රාවල්පින්ඩි තණතීරුවේදී දෙසීයක් වුණත් ගහන්න තිබ්බා’-ධනංජය

රාවල්පින්ඩි තණතීරුවේ පාකිස්තානය සමග පැවැති තරගය ජය පරාජයෙන් කෙළවර වුවද තණතීරුවේ පිතිකරුවන්ට ලැබෙන සහය අනුව ලකුණු දෙසීයක් වුණත් ලබාගැනීමට හැකියාවක් තිබූ බව නොදැවී ශතකයක් (102) ලැබූ ධනංජය ද සිල්වා පවසයි.
ශ‍්‍රී ලංකා පිල පස්වැනි දිනයේදී පන්දුවාර 5.2 ක් ලබා ගැනීමෙන් පසුව ඉනිම අත්හිටුවා පාකිස්තානයට අවසන් දිනයේදී පන්දුවට පහරදීමට ලබා දුන්නද එහිදී ඔවුන්ගේ දැවී ගියේ කඩුලූ දෙකක් පමණි. නමුත් අබිඞ් අලී සහ බාබර් අසාම් දෙදෙනාම පහසුවෙන් ශතක ලබා ගත්තේය. තණතීරුවේ පිතිකරුවන්ට ඇති සහය සම්බන්ධයෙන් ශතකයක් ලැබූ ධනංජය ද සිල්වා තවදුරටත් පිති ප‍්‍රහාරයේ යෙදුණේ නම් කුමක්වේදැයි විමසන ලදුව මෙසේ පැවසීය.
‘‘රාවල්පින්ඩි තණතීරුව පිතිකරුවන්ට ගොඩක් හොඳයි. පන්දු යවන්නන්ට කිසිම සහයෝගයක් ලැබුණෙ නැහැ. ඒක නිසා තමයි පාකිස්තානයේ අලී සහ බාබර් දෙදෙනාම ශතක ලබා ගත්තෙ. ඇත්තටම ඒ තණතීරුවේ හැටියට මටත් දිගටම ක‍්‍රීඩා කළානම් නොදැවී ද්විත්ව ශතකයක් වුණත් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය තිබ්බා. ඒ තරමටම තණතීරුප පිතිකරුවන්ට හොඳයි.’’
ධනංජය ශතකය ලබාගත් විගස ශ‍්‍රී ලංකා නායකයා ඉනිම අත්හිටුවීමෙන් පාකිස්තාන් පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට හැකියාවක් ලැබුණි. නමුත් ධනංජය ද සිල්වා පවසන්නේ ඔහුට ශතකය ලබා ගන්නා තුරු ඉනිම අත්හිටුවන්නේ නැති බව නායකයාගෙන් උපදෙස් ලැබුණු බවයි.
‘‘ඒ තරගයේ කොහොමත් තීරණයක් ගන්න බැහැ. වර්ෂාව නිසා පළමු දින හතරම හරියට ක‍්‍රීඩා කරන්න බැරි වුණා. මට කිව්වෙ ඔයා ශතකය ගහනකම් අපි ඉනිම නවත්වන්නෙ නැහැ කියලා. හැබැයි පන්දුවාර පහක් වගේ ක‍්‍රීඩා කරාට පස්සෙ ඉනිම නවත්වනවා කිව්වෙ නැහැ. මොකද අපි ඉනිම නවත්තලා පාකිස්තානයට පන්දුවට පහර දෙන්න ලබාදුන්නෙ අපේ පන්දු යවන්නන්ට ඒ තත්ත්වයට හුරු වෙන්න. දැන් ඔවුන් දන්නවා අව්ව නැති වුණාම කොහොමද තණතීරුව හැසිරෙන්නෙ සහ අව්ව තියෙන වෙලාවට කොහොමද තණතීරුව හැසිරෙන්නෙ කියලා. ඒ නිසා පන්දු යවන්නන්ට අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. ඒක තමයි අපි උදේ කාලයේම පාකිස්තානයට පන්දුවට පහර දෙන්න අවස්ථාව ලබාදුන්නෙ.’’
රාවල්පින්ඩි තණතීරුවේදී ශ‍්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 2000 වසරේදී අරවින්ද ද සිල්වා ලබාගෙන තිබේ. ඒ ලකුණු 112 කි. ධනංජය ද සිල්වාට එම වාර්තාව අභිබවා යෑමට අවස්ථාව තිබුණද ඉනිම අත්හිටුවීම නිසා ඔහුගේ නම ඉදිරියේ අදාළ වාර්තාව සටහන් කර ගැනීමට නොහැකි විය. ඒ සම්බන්ධයෙන් ඔහුගේ මතය විමසන ලදුව,
‘‘වාර්තා තියන්නත් ඒවා කඩන්නත් අවස්ථාවක් එන්න ඕන. තරගය යන විදිහට අපි කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දිය යුතුයි.’’ යනුවෙනි.
මුල් පෙළ පිතිකරුවකු ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇරඹූ ධනංජය ද සිල්වා මේ වන විට ටෙස්ට් ශතක හයකට හිමිකම් කියයි. නමුත් ඔහු දැන් ක‍්‍රීඩා කරන්නේ මැද පෙළ පිතිකරුවකු ලෙසිනි. අංක හය ස්ථානයේ පන්දුවට පහර දීම සම්බන්ධයෙන් ධනංජය වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘‘මම මුල් පෙළ පිතිකරුවකු විදිහට තමයි ක‍්‍රීඩා කළේ. නමුත් දැන් කණ්ඩායමට මගෙන් ඕවර 15-20 ක් යවා ගන්න අවශ්‍යයි. අපි මුලින්ම පන්දු රැුකලා එහෙම පන්දු යැව්වට පස්සෙ ආරම්භක පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කරන්න අමාරුයි. ඒ නිසා තමයි අංක හය ස්ථානය මට භාර දීලා තියෙන්නෙ. කණ්ඩායමට අවශ්‍ය ඕනෑම ස්ථානයක ක‍්‍රීඩා කරන්න මම ගොඩක් කැමැතියි. මම පිතිකරුවකු විදිහට තමයි කණ්ඩායමේ ඉන්නෙ. ඒ නිසා කණ්ඩායමට අවශ්‍ය දේ මම නිතරම ලබාදෙන්න උත්සාහ කරනවා.’’
ධනංජය ද සිල්වාගේ පිතිකරණයේ වෙනස් වීමක් සිදු කළේදැයි විමසන ලදුව, ‘‘මම ආරම්භක පිතිකරුවකු විදිහට ක‍්‍රීඩා කරලා මැද පෙළින් ක‍්‍රීඩා කරන නිසා එහෙම පොඩි වෙනසක් පේන්න ඇතිය. මම කිසිම වෙනස් කමක් කළේ නැහැ. ඉස්සර පහර දුන්න ආකාරයටම තමයි දැනුත් පහර දෙන්නෙ. කරච්චි ටෙස්ට් තරගයේදීත් කණ්ඩායමට උපරිමය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පැවසීය.
පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය ඉතාමත් හොඳ බවත් අනිකුත් කණ්ඩායම්වලටද පාකිස්තානයේ ක‍්‍රීඩා කිරීමට හැකියාවක් ඇති බවත් ධනංජය ද සිල්වා පවසයි.