දසුන්ගේ දඹුල්ල එංගලන්තයේ පිල් සල්ට් ගොඩ දමයි

දසුන්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායමට විශිෂ්ට ආරම්භයක් ලබාදුන් පිල් සල්ට් තරගයේ වීරයා වෙමින් ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි වොරියස් පිල ලකුණු 20 කින් පරාජය කර දැමීමට සමත් විය. මෙය එල්පීඑල් තරගාවලියේ දෙවැනි තරගය වේ.
ප්‍රේමදාස තණතීරුවේදී පළමු පිති ප්‍රහාරය දියත් කළ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නිරෝෂන් දික්වැල්ල සහ පිල් සල්ට් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 97 ක සබඳතාවක් පිහිටුවමින් මහනුවර පිල අමාරුවේ දැමීමට සමත් විය.
එහිදී දික්වැල්ල පන්දු 23 කදී හතරේ පහර හතරක් සමග ලකුණු 37 ක් ලබා ගත් අතර පිල් සල්ට් පන්දු 27 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර පහක් සමග ලකුණු 64 ක් ලබා ගත්තේය. නායක දසුන් ශානක පන්දු 18 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමග ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර හෙවත් කැන්ඩි වොරියස් පිලට පිති ප්‍රහාරයෙන් සාර්ථකත්වයක් ලබාදීමට චරිත් අසංලක, කවිඳු මෙන්ඩිස් සහ අසේල ගුණරත්නට නොහැකි වීමෙන් ලකුණු 20 ක පරාජයක් ලැබීමට සිදුවිය. ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලබාගත හැකි වුයේ ලකුණු 170 ක් පමණි.
කෙසේ වෙතත් කැන්ඩි පිල අමාරුවේ දැමු නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු තුන බැගින් උදුරා ගැනීමට සමත් විය.