සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 134 කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණි.

ඒ අනුව ශ්‍රී ලංකාව ලද මෙම පරාජය වාර්තා වුණේ විස්සයි විස්ස තරගයකදී ලැබු දරුණුතම පරාජය ලෙසයි.

ඇඩිලේඩ්හීදි තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග  පළමුව පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය.

ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිම අරඹමින් පිටියට පිවිසි නායක ආරෝන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 122ක සබඳතාවක් ගොඩ නැගුවේය.

නායක ආරොන් ෆින්ච් ලකුණු 64ක් රැස් කරගෙන සිටියදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ දැවි ගියේ කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුක් ලබා දෙමින්.

ඩේවිඩ් වෝනර් සිය විස්සයි විස්ස දිවියේ 8වන ශතකය අද රැස් කළ අතර ඔහු අද සිය 33වන උපන්දිනය සමරයි.

ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 62ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් සහ දසුන් ශානක කඩුල්ල බැගින් දවා ගත්තේය.

ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 233ක්.

ලකුණු 234ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට ඔස්ට්‍රේලියා පන්දු යවන්න් හමුවේ සාර්ථක වීමට හැකි වුණේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 99ක් පමණයි.