Home CRICKET දික්වැල්ල වැරදි දෙයක් කළේ නැහැ – චන්දිමාල්

දික්වැල්ල වැරදි දෙයක් කළේ නැහැ – චන්දිමාල්

වෙලාව තිබුණනම් අපිට හඹා යන්නත් තිබුණා
කෝලිව ගත්තනම් තරගය අපි දිනුම්
අපි සැලසුම් කරලා දිනන්නමයි අවේ
– චන්දිමාල්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටාහිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් හෝරාව ඉතාමත් උණුසුම් විය. තරගයේ ජය පරාජය දෙපසට දෝලනය විය. එහිදී ඉන්දියානු වේග පන්දු යවන සාමි විසින් නිරෝෂන් දික්වැල්ල සමග රණ්ඩුවකට පැටලීමට උත්සහ කිරීම තවත් උණුසුම් විය. ඒ අතරට විරාට් කෝලිද මැදිහත් විය. නමුත් ප්‍රශ්නය ගොඩින් විසදුනේය.

‘දික්වැල්ල අභියෝගයට කැමැතියි. විරුද්ධවාදියකු ඔහු ලගට එන විට ඔහුගේ හොඳ බව කියනවා. මම හිතන්නේ නැහැ දික්වැල්ල වැරදි දෙයක් කළා කියලා. නමුත් සමහර දේවල්වලට ඔහු ප්‍රතිචාර දැක්වූවා. ඔහු කිසි වරදක් නොකළ නිසා මට මැදිහත් වෙන්න අවශ්‍යතාවක් වුණේ නැහැ.’ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
දික්වැල්ල පන්දුවට පහර දෙන අවස්ථාවේ ඔහුගේ පා ඉන්නෙන් පිටු පස පන්දු රකින්නන් තිදෙනකු යොදවා තිබියදී පිට ඉන්නට ඇවිද ගොස් ෆයින් ලෙග් කළාපයෙන් හයේ පහරක් ගැසූ දික්වැල්ල විනිසුරුවරයාට එය නිපන්දුවක් ලෙස සංඥා කරන ලෙස මතක් කළේය. විනිසුරුද නින්දෙන් ඇහැරුණේ එවිටය. අදාළ වාග් ප්‍රහාරයට මුල් හේතුව එය විය.
‘අවසන් ඕවර කිහිපය ඉතාමත් උණුසුම් වුණා. කොහොම හරි අපි තරගය පරාජය නොවන්න අදිටන් කර ගත්තා. අපිට වැඩි කාලයක් තිබුණා නම් ඉලක්කය හඹා යෑමට අවස්ථාවක් තිබ්බා. නමුත් ඒ ඉලක්කය හති වැටෙන ඉලක්කයක්. අපි සාමාන්‍ය ක්‍රීඩා විලාශය නිරත වෙන්න කැමැතියි.’ චන්දිමාල් කියයි.
ඉන්දියානු නායක විරාට් කෝලිව දවා ගැනීම සඳහා සෑම කණ්ඩායම් සාකච්ඡාවකදීම කතා වෙන බවද චන්දිමාල් පවසයි. ”කෝලි ඉන්දියානුවන්ගේ හොඳම පිතිකරුවා. ඒ වගේම ලෝකයේ සිටින හොඳම පිතිකරුවන් දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක්. ඔහුව අල්ල ගන්න පුළුවන් වුණා නම් අපිට මේ තරගය ජය ගන්න තිබුණා.” යැයි චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.
‘මෙම තරගාවලිය දිනා ගන්නවා කියලා කණ්ඩායමේ සියලූම සාමාජිකයන්ගේ චිත්ත ධෛර්ය තිබුණා. අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඒ දේ කළා. ටෙස්ට් තරගයක අවසන් දිනය දක්වා යෑමට අපිට අවශ්‍ය වුනා. ඒ දේ අපි කළා.’