ජොකොවික්ගේ වීසා ඔස්ට්‍රේලියාව යළි අවලංගු කරයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බීයා ජාතික නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය යළිත් අවලංගු කිරීමට ඔස්ට්‍රේලියාව කටයුතු කරයි.

මින් පෙර ද ඔහුගේ වීසා අවලංගු කිරීමට ඔස්ට්‍රේලියාව කටයුතු කළ ද අතර, ඔහු ඊට එරෙහිව නඩු පවරා ඉන් ජය ගැනීමට කටයුතු ක‍ළේය. කෙසේ වෙතත් ජොකෝවික්ගේ වීසා බලපත්‍රය යළි අවලංගු කර ඔහු රටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාවේ ආගමන හා විගමන අමාත්‍යවරයාට සතු බලතල අනුව කටයුතු කර තිබේ. ඇමැතිවරයා කියා සිටියේ තම බලය ක්‍රියාත්මක කළ බවත්, සෞඛ්‍ය සහ යහපත් ක්‍රමවේද පදනම් කර ගනිමින් ජොකොවික්ගේ වීසා අවලංගු කිරීම මහජන යහපතට හේතු වන බවත්ය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට ලැබුණු වීසා හා ආරාධනාවක් මත ජොකොවික් ඔස්ට්‍රේලියාවට පැමිණි අතර, කොරෝනා එන්නත්කරණය සම්පූර්ණ නොකිරීම පිළිබඳ චෝදනා කරමින් ඔහු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට කටයුතු කෙරිණි.

එහෙත් ජොකොවික් විසින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර නොදීම අභියෝගයට ලක් කරමින් ඔහුගේ නීතිඥයා මාර්ගයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණයක් හමුවේ නඩුවක් ගොනු කළ අතර, ඔහුට එම නඩුවෙන් ජය හිමි විය.

ඒ අනුව ඔස්ට්‍රේලියානු රජයේ රැඳවුම් භාරයේ පසු වූ මේ සර්බියානු ක්‍රීඩකයා වහාම නිදහස් කරන ලෙසත්, ඔහුගේ අභියාචනාවට අදාළ සියලු වියදම් ගෙවන ලෙසත් විනිසුරු ඔස්ට්‍රේලියානු රජයට නියෝග කර තිබිණි.