කුසල් මෙන්ඩිස් සහ නුවන් තුෂාර ගාල්ල අවසන් සටනට ගෙන එයි

කුසල් මෙන්ඩිස්ගේ සහ ධනුෂ්ක ගුණතිලකගේ සුපිරි පිති ප්‍රහාරය හමුවේ ජවය ලද ගාල්ල කණ්ඩායම එල්පීඑල් දෙවැනි අදියරේ පළමුව අවසන් සටනට පිවිසි කණ්ඩායමට බවට පත්විය. හම්බන්තොටදී පැවැති මෙම අවසන් පූර්ව තරගයේදී ඔවුන් අතින් පරාජයට පත්වූයේ හිටපු ශූරයන් වන යාපනය කණ්ඩායම වේ.
පළමුව පිති ප්‍රහාරය දියත් කළ ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5ට ලකුණු 188 ක් ලබා ගත් අතර ඒ වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වු කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ලට පන්දු 80 කදී ලකුණු 122 ක විශිෂ්ට සබඳතාවක් එක් කිරීමට සමත් විය.
කුසල් මෙන්ඩිස් පන්දු 53 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර හතක් සමග ලකුණු 85 ක් ලබා ගත් අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 55 ක් ලබා ගත්තේය. නායක භානුක රාජපක්ෂ පන්දු 15 කදී හයේ පහර තුනක් සමග ලකුණු 25 ක් ලැබීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය කණ්ඩායම පන්දුවාර 16.5 කදී සියලු දෙනාම ලකුණු 124 කට දැවී ගියේය. එහිදී ගාල්ල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර පන්දුවාර 3.5 ක් යවමික් ලකුණු 13 කට කඩුලු 5 ක් බිද දැමීය. ගාල්ල වෙනුවෙන් ආරම්භක පිතිකරු රහමුදුල්හා ගුරුබාස් අර්ධ ශතකයක් ලැබු අතර නායක තිසර පෙරේරා ලකුණු 4 කට දැවී ගියේය.
කෙසේ වෙතත් යාපනය කණ්ඩායමට තවත් එක් අවස්ථාවක් ඇති අතර ඔවුන් අද දිනයේදී අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයට දඹුල්ල කණ්ඩායම සමග සහභාගි වේ. එම තරගය ජයගතහොත් ලබන 23 දා ගාල්ල සමග අවසන් සටනට පිවිසීමට යාපනයට අවස්ථාව හිමි වනු ඇත.