ගාල්ලේදී දඟයන්ට වේදිකාවක්

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය සහ ඒ අවට ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කණ්ඩායම් දෙකටම තණතීරුවේ තත්ත්වය ඊයේ වන විට හොඳින් දැක බලා ගැනීමට නොහැකි වුවද මෙය දඟ පන්දු යවන්නන්ට සහයක් ඇති තණතීරුවක් බව ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න විශ්වාස කරයි. ඒ අනූව දඟ පන්දු යවන්නන් තිදෙනකු සමග නවසීලන්තයට අභියෝග කිරීමට ශී‍්‍ර ලංකා පිල සූදානමින් සිටියි.
ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දඟ පන්දු යවන්නන්ගේ සටනක් බවට පත්වනු ඇතැයි කණ්ඩායම් දෙකේම නායකයන් විශ්වාසය පළ කරන අතරවාරයේදී ශ‍්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් තිදෙනකු සමග නවසීන්තය අමාරුවේදී දැමීමට සැලසුම් සකස් කරමින් සිටියි.
ගාල්ල තණතීරුව දඟ පන්දු යවන්නන්ට ඉතිහාසයේ සිටම වැඩ කරද්දී වැඩිම ජයග‍්‍රාහී ප‍්‍රතිශතයක් ඕනෑම ප‍්‍රතිවාදියකු ඉදිරියේදී වාර්තා කිරීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබේ. දිමුත් කරුණාරත්න පවසන පරිදි පළමු ටෙස්ට් තරගයේදී අකිල ධනංජය සහ ලසිත ඇඹුල්දෙණිය පළමු තරගයේදී ප‍්‍රධාන දඟ පන්දු යවන්නන් වශයෙන් කී‍්‍රඩා කරනු ඇත.
‘‘අපේ කණ්ඩායමට හොඳ දඟ පන්දු යවන්නන් ඉන්නවා. සංචිතයේ 22 ක් ඉන්න නිසා ඕන වෙලාවක ක‍්‍රීඩකයකු ගෙන්න ගන්න පුළුවන්. නමුත් ඩිල්රුවන් සුව වුණොත් දෙවැනි ටෙස්ට් තරගයට ඔහුව කැදවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නැතත් අපිට දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඩිල්රුවන් නැති නිසා අකිල ධනංජයට අවස්ථාවක් තියෙනවා. ලසිත ඇඹුල්දෙණිය ඉන්නවා. ඔහු දකුණු අප‍්‍රිකාවේදීත් ‘ඒ’ කණ්ඩායම සමග හොඳින් දක්ෂතා දක්වලා තියෙනවා. ඒ වගේම ධනංජයද සිල්වාත් ඉන්නවා. මම හිතන්නෙ මේ තණතීරුවේදී හොඳ දඟ කැවීමක් තියෙන්නේ තුන්වැනි දිනය වන විට. ඒ නිසා දඟ පන්දු යවන්නන් තිදෙනෙක් එක්ක අපි තරගයට එනවා.’’
නවසීලන්තය යනු වත්මන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන කණ්ඩායමයි. ඔවුන්ව පරාජය කිරීම ශ‍්‍රී ලංකාවට අභියෝගයක් වුවද ඒ සඳහා හොඳ සැලසුම්වලින් කණ්ඩායම සන්නද්ධව සිටින බවද ශ‍්‍රී ලංකා නායකයා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
‘‘නවසීලන්තය කියන්නෙ හොඳ කණ්ඩායමක්. අපි පසුගිය කාලයේ සිදුවන වැරදි මොනවද කියලා වටහාගෙන තමයි දැන් ඉන්නෙ. විශේෂයෙන් මේ වගේ තණතීරුවකදී ගොඩක් ලකුණු ගහන්න ඕන. අපි ඇටෑක් කරන්න ඕන. එහෙම නොකරපු නිසා අපි තරග පැරදුන අවස්ථා තියෙනවා. පසුගිය කාලයේදී කරපු අතපසුවීම් මොනවද කියලා දැන් අපි දන්නවා. නවසීලන්ත කණ්ඩායමත් අපි වගේ හොඳ සැලසුමකටත් යයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපේ සැලසුම් හොඳින් පාවිච්චි කරලා තරගය ජයග‍්‍රහණය කරන්න.’’
ශ‍්‍රී ලංකාව අවසන් ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය ජයග‍්‍රාහී අවසන් කිරීමේ මානසික තෘප්තිය සමග නවසීලන්ත අභියෝගයට මුහුණදීමට සූදානමින් සිටියි. නවසීලන්තයද වත්මන් ක‍්‍රිකට් ලොව අනුශූරයන් ලෙස තරගාවලියට සහභාගි වේ.
‘‘අපි අවසන් වරට ක‍්‍රීඩා කරපු ටෙස්ට් තරගාවලිය ජයග‍්‍රහණය කළා. නමුත් දකුණු අප‍්‍රිකාවේ තිබුණ තත්ත්වය නෙමෙයි මෙහෙ තියෙන්නෙ. ඒ නිසා වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. අපි තණතීරුව බලලා 11 දෙනා තෝරනවා. කඩුලූ රකින්නා වශයෙන් නිරෝෂන් දික්වැල්ල ක‍්‍රීඩා කරනවා. වෙනසක් කරන්න අවශ්‍ය වුණොත් චන්දිමාල් සහ කුසල් පෙරේරාටත් කඩුලූ රකින්න පුළුවන්.’’ යැයි දිමුත් කරුණාරත්න පවසයි.
ටෙස්ට් ලෝක කුසලාන තරගාවලිය අවුරුදු දෙකක් පුරා තියෙන බවත් එහිදී තම කණ්ඩායමට තරග 13 ක් ක‍්‍රීඩා කිරීමට තිබෙන බවත් දිමුත් කරුණාරත්න පවසයි. කෙසේ වෙතත් තරගයෙන් තරගය සැලසුම් කරන බවත් පුහුණුකරුවන් මාරු වුවද තමා ඇතුළු කණ්ඩායම සිය දක්ෂතාව උපරිම අයුරින් මුවහත් කර ගැනීම හැම වෙලේම උත්සහ කරන බවද ශ‍්‍රී ලංකා නායකයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
නවසීලන්ත නායකයා යනු ලොව දක්ෂතම ක‍්‍රිකට් නායකයා වශයෙන් පසුගිය කාලයේදී කතා බහට ලක්විය. වැඩි කලබලයකින් තොරව කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට තුරුම්පු සකස් කරන කෙන් විලියම්සන් අද තරගය සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි අදහසකි.
‘‘එක්දින තරගවලට වෙනස් තරග ආකෘතියක් තමයි ටෙස්ට් ලෝක කුසලානයේදී තියෙන්නෙ. ශ‍්‍රී ලංකාවේදී අපිට හොඳ අභියෝගයක් තියෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අපේ දඟ පන්දු යවන්නන් අත්දැකීම් ලබා ගත්තද ඊට වඩා වෙනස් තත්ත්වයක් යටතේ ශී‍්‍ර ලංකාවේදී තරග කිරීමට සිදුව තියෙන්නෙ. කොහොම වුණත් ශ‍්‍රී ලංකාව සමග අපිට හොඳ තරගයක් තියෙනවා. විශේෂයෙන් අපි මෙහෙ අවට පස්සෙ ඉතාමත් විනෝදයෙන් තමයි ඉන්නෙ. මම හිතනවා අපේ දඟ පන්දු යවන්නන් හොඳින් මේ වගේ තත්ත්වයන් වලදී පන්දු යවයි කියලා’’
ශ‍්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක*, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප‍්‍රනාන්දු, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු
නවසීලන්ත කණ්ඩායම
කෙන් විලියම්සන් (නායක*, ටොම් ලෙතම්, ජිට් රාවෙල්, රොස් ටේල්ර්, හෙන්රි නිකලස්, බී.ජේ.වොට්ලින්, ටොම් බ්ලන්ඩල්, කෝලින් ඞී ග‍්‍රෑන්හෝඞ්ම්, මිචෙල් සැනටන්ර්, ටොඞ් ඇස්ටල්, ටිම් සවුති, විල් යන්ග්, නීල් වැග්නර්, අජාස් පටෙල්, ටෙ‍්‍රන්ට් බෝල්ට්