Home CRICKET අයි.පී.එල්. කුසලානට යළිත් මුම්බායි කිට්ටු වෙයි

අයි.පී.එල්. කුසලානට යළිත් මුම්බායි කිට්ටු වෙයි

මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි.පී.එල්. ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටනට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්විය. ඒ දිල්ලි කැපිටල් කණ්ඩායම ලකුණු 57 කින් පරාජය කර දමමිනි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප‍්‍රතිවාදීන් තීරණය කරන සටන තීරණය වනු ලබන්නේ පරාජිත දිල්ලි කණ්ඩායම සහ ඊයේ පැවැති සන්රයිසස් සහ බැංගලෝර් කණ්ඩායම අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් පසුවය. ඉකුත් වසරේද ශූරතාව දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලබන 10 වැනිදා යළිත් අවසන් සටනට පිවිසෙන්නෙ පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනා ගැනීමේ අරමුණිනි.
පළමුව පිති ප‍්‍රහාරය දියත් කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට රවීචන්ද්‍රන් අශ්වීන් සමත් විය. ඔවුන්ගේ අනෙක් පිතිකරු බලාපොරොත්තුව වු කිරන් පොලාර්ඞ්ද ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් ක්යින්ඩන් ඞී කොක්, සූර්යකුමාර් යදව් සහ ඉෂාන් කිශාන් මුම්බායි ඉනිම ලකුණු 200 සීමාව දක්වා ඔසවා තැබීමට සමත් විය.
ක්යින්ටන් ඞී කොක් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර පහක් සමග ලකුණු 40 ක් ලබා ගත් අතර සුර්යකුමාර් යදව් පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 51 ක් ලැබීය. ඉෂාන් ඛාන් පන්දු 30 කදී හයේ පහර තුනක් සහ හතරේ පහර හතරක් සමග නොදැවී ලකුණු 55 ක් ලබා ගත්තේය.
මුම්බායි කණ්ඩායමේ තෙවැනි කඩුල්ල දොළොස්වැනි පන්දුවාරයේදී දැවී යන විට වාර්තා කර තිබුණේ ලකුණු 100 ක් පමණි. අනතුරුව හාර්දික් පාණ්ඩ්‍යා පන්දු 14 කදී හයේ පහර පහක් සමග ලකුණු 37 ක් රැුස් කිරීම හේතුවෙන් මුම්බායි කණ්ඩායමට අවසන් පන්දුවාර හතර තුළදී ලකුණු 60 ක් උදුරා ගැනීමට හැකිවිය. දිල්ලි කැපිටල් වෙනුවෙන් රවීචන්ද්‍රන් අශ්වින් කඩුලූ තුනක් දවා ගත්තේය.
දිල්ලි කැපිටල් කණ්ඩායමේ පළමු පිතිකරුවන් තිදෙනා වූ ප‍්‍රිතිව් ෂෝ, ෂිකර් ධවාන් සහ අජින්ක්‍යො රහනේ යන තිදෙනාම ලකුණු නොලබා දැවී යාමත් සමග මුම්බායි කණ්ඩායමට ජයග‍්‍රහණය ස්ථිර විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ටෙ‍්‍රන්ට් බෝල් පන්දුවාර දෙකක් යවා එක් නිලකුණු ඕවරයක් සමග කඩුලූ දෙකක් බිද දැමීය. තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටින ජස්ප‍්‍රිට් බුම්රා පන්දුවාර හතර තුළදී නිලකුණු ඕවරයක් සමග ලකුණු 14 කට කඩුලූ හතරක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
දිල්ලි කැපිටල් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසනදී කඩුලූ අටක් දැවී ලකුණු 143 ක් පමණක් ලබා ගත්තේය. එහිදී මාකර්ස් ස්ටොනිස් පන්දු 46 කදී ලකුණු 65 ක්ද අක්ෂර් පටෙල් පන්දු 33 කදී ලකුණු 42 ක්ද ලබා ගැනීමට සමත් විය.