Home CRICKET යාපනය – ගාල්ල සහ මහනුවර – දඹුල්ල අද ගැටෙති

යාපනය – ගාල්ල සහ මහනුවර – දඹුල්ල අද ගැටෙති

එල්. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව සිටින තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය කණ්ඩායම සහ සහිඞ් අෆ්රීඩිගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම අද (03 දා) පළමු වටය අවසන් කරමින් තරග වදිනු ලබයි. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ප. ව. 3. 30 ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම දෙවරක් මුණ ගැසෙයි. මේ වන විට තිසර පෙරේරා ප්‍රමුඛ යාපනය කණ්ඩායම සහභාගි වු තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු හයක් සමග පෙරමුණ ගෙන සිටියි. ඔවුන් අද තරගය ජය ගතහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අටක් දක්වා ඉහළ දමා ගනිමින් අභියෝගයකින් තොරවම පෙරමුණ ගනිමින් පළමු වටය අවසන් කිරීමට හැකිවනු ඇත. යම් හෙයකින් අද තරගය යාපනය පරාජය වුවහොත් පෙරමුණ ගැනීමට කොළඹ සහ දඹුල්ල කණ්ඩායම්වලටද අවස්ථාවක් තිබේ. එම කණ්ඩායම් දෙකම තරග තුනකදී ජයග්‍රහණ දෙක බැගින් ලබා ප්‍රසාද ලකුණු හතරක් එකතුකරගෙන සිටියි.
පළමු වටයේදී යාපනය සහ ගාල්ල අතර පැවැති තරගයෙන් යාපනය කණ්ඩායම කඩුලු අටක ජයක් ලැබීය. එම තරගයේදී යාපනය ජයග්‍රහණය වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු (92) සහ ෂොයිබ් මලික් (27) පිත්තෙන් දස්කම් දැක්වු අතර ඩුනි ඔලිවර් කඩුලු හතරක් දවා ගනිමින් ගාල්ල පිල පරාජයට ඇද දැමුවේය. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පිවිසි නායක සහිඞ් අෆ්රිඩි පන්දු 23 කදී ලකුණු 58 ක් ලබා ගත්තේය.
තරගාවලියේ ඉදිරියට යෑමට නම් ගාල්ල කණ්ඩායම අනිවාර්යයෙන්ම මෙම තරගයේ සිට ඉදිරි සියලුම තරග ජය ගත යුතුවේ. පළමු වටයේ තරග හතර අවසන් වන විට එකම ජයක් හෝ නොලැබු කණ්ඩායම ගාල්ල කණ්ඩායමයි. මේ වන විට අර්ධ ශතක දෙකක් සමග මුළු ලකුණු 165 ක් ලබා සිටින තිසර පෙරේරා පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ ඇති අතර ඔහුගේ ප්‍රහාරය ගාල්ල කණ්ඩායමට දැඩි අභියෝගයක් වේ. තිසරගේ ප්‍රහාරාත්මක වේගය 165. 00 කි. ගාල්ල කණ්ඩායමට යම්කිසි සැනසීමක් ඇත්තේ ධනුෂ්ක ගුණතිලක තරග තුනකදී ලකුණු 150 ක් ලබා ගැනීමට සමත්වීම සහ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 153. 06 ක් වශයෙන් සටහන්වීම පමණි.
මේ අතර කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර ටක්සර්ස් සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකිං කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතය. මහනුවර කණ්ඩායම මේ වන විට සහභාගී වූ තරග හතරකින් එක් තරගයක් පමණක් ජය ගැනීමට සමත් වී සිටින අතර ඔවුන් තරග තුනක් පරාජයට පත්වී සිටී. ඒ අනුව අද පැවැත්වෙන තරගය ජය ගැනීම මහනුවර කණ්ඩාමටද ඉතා වැදගත් වේ. දඹුල්ල වයිකිං කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ තරග තුනකින් තරග දෙකක් ජය ගැනීමට සමත් වී සිටින අතර ඔවුන් එක් තරගයක් පමණක් පරාජයට පත් වී සිටී.