අවුරුදු දෙක හමාරකින් පිත්තක් ඇල්ලූවත් අත හම ගියා – සංගක්කාර

වසර දෙක හමාරකට පසුව ක‍්‍රිකට් පිත්තක් අතට ගෙන පුහුණුවීම් කිරීමට ගිය කුමාර් සංගක්කාරට එහිදී අත හම ගිය බව ඔහු පවසයි. සංගක්කාර මේ බව පවසා සිටියේ එම්.සී.සී. කණ්ඩායමේ නායකයා වශයෙන් ලබන මාර්තු 24 වැනිදා සිට ගාල්ලේදී ඇරඹෙන සිව්දින ක‍්‍රිකට් තරගය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදීය.
එංගලන්තයේ එම්.සී.සී. කණ්ඩායම සහ එංගලන්ත අන්තර් ප‍්‍රාන්ත ක‍්‍රිකට් ශූරයන් වන එසෙක්ස් කණ්ඩායම අතර ලබන මාර්තු මාසයේදී ගාල්ලේ පැවැත්වෙන ක‍්‍රිකට් තරගය වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේදී සංගක්කාරට ඉහත සිදුවීම සිදුව තිබේ. එම්.සී.සී. හී වත්මන් සභාපතිවරයාද වන කුමාර් සංගක්කාර එම කණ්ඩායමේ නායකයාද වෙයි.
සංගක්කාර යනු ලොව වමත් පිතිකරුවන් අතරින් වැඩිම ටෙස්ට් ක‍්‍රිකට් ලකුණු ලාභියා වෙයි. එම්.සී.සී. සහ එසෙක්ස් තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර, ‘‘මුලින්ම කියන්න ඕන 2015 ට කලින් තිබුණ දක්ෂතා බලාපොරොත්තු වෙන්න එපා කියලා. මොකද මම අවුරුදු දෙක හමාරකින් තුනකින් විතර පිත්තක් අල්ලලාවත් තිබුණෙ නැහැ. මේ තරගය වෙනුවෙන් මම ළඟදි දවසක් තලවතුගොඩ ඔස්ටේ‍්‍රෂියා ගෘහස්ථ ක‍්‍රීඩාගාරයට ගියා පුහුණුවීම් කරන්න. පැය භාගයක් බැට් කළා. මගේ අත් එහෙම කොයිතරම් වෙනස් වෙලාද කිව්වොත් විනාඩි විස්සකින් විතර අත් ආවරණ ගලවලා බලන කොට මගේ අත හම ගිහින්. මේ තරගයට කලින් ව්‍යායාම් කරලා ශාරීරික යෝග්‍යතාව හදාගෙන තමයි එනන ඕන.’’
එම්.සී.සී. කණ්ඩායම 2011 වසරේ සිට එංගලන්තයේ ප‍්‍රාන්ත ශූරයන් සමග සාම්ප‍්‍රදායිකව සිව්දින තරගයට සහභාගි වන අතර එය විදේශයකදී පැවැත්වෙන බැවින් මෙවර ශ‍්‍රී ලංකාවේදී එම තරගය පැවැත්වේ. එහි මූලිකත්වය ගෙන කටයුත කර ඇත්තේද සංගක්කාරයි.
‘‘මෙම සාම්ප‍්‍රදායික තරගය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමෙන් අපේ රටේ සංචාරක ක්‍ෂේත‍්‍රයට සහ හෝටල් ක්‍ෂේත‍්‍රයට මෙන්ම වෙනත් ක්‍ෂේත‍්‍රවලට නොයෙකුත් ආර්ථික ප‍්‍රතිලාභ ලැබෙනවා. එම්.සී.සී. එක පැත්තෙන් ඔවුන්ගේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය ශක්තිමත් කර ගැනීමට ලොකු රුකුලක් වෙනවා. ඒ වගේම විශාල භාග්‍යයක් මෙවැනි තරගයක් ක‍්‍රීඩා කරන්න ලැබීම. මොකද මම ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ සුළු සුළු තරග ක‍්‍රීඩා කළා. ඒ නිසා ඉතාමත් ආශාවෙන් මම බලාගෙන ඉන්නවා මේ තරගය ක‍්‍රීඩා කරන්න. ඒ වගේම අපි පාකිස්තානයටත් යනවා ළගදි. ක‍්‍රිකට් කී‍්‍රඩාවෙන් ඕනෑම බේද අමතක කරලා එකට ඉන්න පුළුවන් කියන පණිවුඩය මෙවැනි තරගවලින් පවත්වන්න පුළුවන්.’’
ඉදිරියේදී මහේල ජයවර්ධනවත් තරගයකට සහභාගී කරවා ගන්න උත්සහ කරන බව සංගක්කාර පවසයි. ‘‘මහේලව අල්ල ගන්න තමයි අමාරු. මහේල ජයවර්ධනව මෙම තරගයට සහභාගී කරවගන්න බැලූවත් ඔහුගේ පුහුණුවීම් රාජකාරි නිසා අවස්ථාවක් තිබුණෙ නැහැ. ඉදිරියේදී කොහොම හරි බලාපොරොත්තුවෙනවා ඔහුවත් තරගයකට සහභාගී කරවගන්න.’’
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය එම්.සී.සී. එකේ ඉල්ලීමට ඉතාමත් ඉක්මනින් ප‍්‍රතිචාර ලබාදීම සම්බන්ධයෙන්ද කුමාර් සංගක්කාර ස්තුතිය පළ කර සිටියේය.
‘‘මම හිතන්නේ මම විතරක් නෙමෙයි අපේ එම්.සී.සී. එකේ ක‍්‍රිකට් කමිටුව භාර ජෝන් ස්ටීවන් මහත්තයත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයත් එක්ක කතා කරලා තමයි මේ තරගය පැවැත්වීමට යොදා ගත්තේ. ඇත්තටම කියනවනම් පැයකින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උත්තර ලබාදුන්නා. අපිට ඕන වෙලා තිබ්බා ගාල්ලේ මේ තරගය ක‍්‍රීඩා කරන්න. අවශ්‍ය වන සහයෝගය දෙන්න කැමැතියි කියන එක ඉතාමත් ඉක්මනින් ආවා. ඒක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. අති විශිෂ්ට සහයක් ලබාදුන්නා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මේ තරගය වෙනුවෙන්.’’
අදාළ තරගය පැවැත්වෙන වකවානුවේදී එංගලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන බැවින් මෙම තරගයට ඉතාමත් ඉහළ ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.