සමාරම්භයේදීම අනුශූරයෝ ශූරයන්ට පහර දෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයෙන් පසුගිය වසරේ ශූරයන් වූ ජැෆ්නා කණ්ඩායම පරදවා ලකුණු 54ක ජයක් හිමි කර ගැනීමට එවර අනුශූරයන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.මේ තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ජැෆ්නා පිලට ඕවර 18.4කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 110ක් පමණි.

ජැෆ්නා පිළිතුරු ඉනිමේදී කිසිදු පිතිකරු යුගලයකට සාර්ථක සබඳතාවක් පැවැත්වීමට ගෝල් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.

මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු ගණනකට දැවී යද්දී අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි වහබ් රියාස් පන්ද 20කින් ලකුණු 27ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේදී ස්මිට් පටෙල් කඩුලු 3ක් බිඳ දැමූ අතර, මොහොමඩ් හෆීස් සහ පුලින තරංග කඩුලු 2ක බැගින් දවා ගත්හ.

ධනුෂ්ක ගුණතිලක සමඟින් කුසල් මෙන්ඩිස් ගාලු ඉනිම ආරම්භ කළ අතර, ලකුණු 40ක් වෙද්දී ඔවුන් දෙදෙනාම යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට යාපනය පන්දු යවන්නෝ සමත් වූහ. ගුණතිලක ලකුණු 8ක් සහ මෙන්ඩිස් ලකුණු 16ක් රැස් කළ අතර, මොහොමඩ් හෆීස්ගේ ඉනිම ලකුණු 15කට සීමා විය. ලකුණු 41කට කඩුලු 3ක් අහිමි වීමෙන් පසු පිටියට පිවිසි භානුක රාජපක්ෂ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 56ක් රැස් කළේ පන්දු 31කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය.

බෙන් ඩන්ක් (17) සමඟින් සිව්වැනි කඩුල්ලට ලකුණු 52ක් එක් කළ භානුක, ස්මිට් පටෙල් සමඟින් 5 වැනි කඩුල්ලට ලකුණු 40ක් එක් කරමින් කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යෑමට අඩිතාලම දැම්මේය. පටෙල් පන්දු 31කින් ලකුණු 42ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ජේඩ්න් සීල්ස් කඩුලු 3ක් දවාගත් අතර, පෙරේදා අබුඩාබිහිදී ටී10 තරගාවලියේ අවසන් තරගයට එක් වූ වනිඳු හසරංග ඊයේ ජැෆ්නා කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 2ක් බිඳ දැමීමට ද සමත් විය.

වනිඳු සමඟ විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනකු අබුඩාබි ටී10 අවසන් තරගයෙන් පසු පෞද්ගලික ගුවන් යානයකින් එල්පීඑල් තරගාවලියට එක් වීම සඳහා කොළඹට පැමිණියහ. එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා (21) ලෙසින් ඉතිහාසට එක් වූ වනිඳු තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේය.

ඊයේ පස්වරුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැති අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ තරගාවලියේ මෙහෙයුම් කටයුතු භාර අයිපීජී සමාගමේ නිලධාරීන් ද එක්ව සිටියහ. ක්‍රීඩා ඇමැතිවරයාගේ ආරාධනයෙන් මේ අවස්ථාවට එක් වූ පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත මෙවර තරගාවලිය නිල වශයෙන් ආරම්භ වන බව නිවේදනය කළේය. මේ තරගය නැරඹීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය. මෙවර තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50%කට අවස්ථාව දී තිබේ.

ගාල්ල – 164/7යි. (ඕවර 20) භානුක රාජපක්ෂ 56, ස්මිට් පටෙල් 42 (ජේඩ්න් සීල්ස් 23/3, වනිඳු හසරංග 30/2)

යාපනය – 110යි. (ඕවර 18.4) (ස්මිට් පටෙල් 21/3, මොහොමඩ් හෆීස් 11/2)