කෝටි දෙකක ජය මල්ලකට එල්පීඑල් ඉරිදා සිට හැඩ වෙයි

අන්තර්ජාතික විස්සයි20 ‘ෆ්‍රැන්චයිස්’ වර්ගයේ ශ්‍රී ලාංකික මුහුණුවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලිය ඉරිදා (5) ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වෙයි. ලොව ප්‍රබලතම විදෙස් ක්‍රීඩකයන් සහ දේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දෙවැනි එල්පීඑල් තරගාවලියේ ජයග්‍රාහකයන්ට කුසලානය සමඟ රුපියල් කෝටි දෙකක මුදල් ත්‍යාගයක් හිමි වේ. අනුශූරයන්ට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, කැන්ඩි වොරියර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම් තරගාවලියට එක් වී සිටී.

මෙවර තරගාවලිය අදියර දෙකකින් යුතුව පැවැත්වෙන අතර, මූලික වටයේ තරග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමෙන් පසු පිළිමලුන් පිටුදැකීමේ තරග, අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාගංණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය යටතේ එල්පීඑල් තරගාවලිය පැවැත්වෙන අතර, මෙවර තරගාවලිය නැරැඹීමට ප්‍රේක්ෂක ධාරිතාවයෙන්් 50%කට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය දී ඇතැයි එල්පීඑල් තරගාවලිය පිළිබඳ ඊයේ දහවල් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී එල්පීඑල් පාලක මණ්ඩලයේ සාමාජික සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. තරගාවලිය නැරැඹීමට අවසර ලැබෙන්නේ මීට සති දෙකකට පෙර කොවිඩ් මර්දන දෙවැනි මාත්‍රා එන්නත්කරණයට ලක්වූ ප්‍රේක්ෂකයන්ට පමණක් බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

පසුගිය තරගාවලියේදී මෙන් මෙවරත් සියලු දෙස් විදෙස් ක්‍රීඩකයන් ජෛව බුබුළු සෞඛ්‍ය ආරක්ෂිත වළල්ලක් ඇතුළත රඳවා තබන අතර, මෙරට සිටින ක්‍රීඩකයන් පැය 48කට පෙර සිදු කරනු ලබන පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵලය අනුව ජෛව බුබුළට ඇතුළත් කරන බවත්, විදෙස් රටවලින් පැමිණෙන ක්‍රීඩකයන් පැය 48කට පෙර සිදු කරන පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵලයට අමතරව ගුවන්තොටුපොළේදී (On Arrival) තවත් පීසීආර් පරීක්ෂණයකට පෙනී සිටීමෙන් පසු එම ප්‍රතිඵලය අනුව ජෛව බුබුළු ආරක්ෂිත වළල්ලට ඇතුළත් කර ගන්නා බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත ගුවන් තොටුපොළේදී ගන්නා සාම්පල ශ්‍රී ජයවර්ධනපුර රෝහල් රසායාන­ාගාරය මඟින් සිදු කරන බව ඔහු පැවසීය. ජෛව බුබුළු සෞඛ්‍ය වළල්ලට ඇතුළු වීමට පෙර විදෙස් ක්‍රීඩකයන්ට සිය හෝටල් කාමර තුළ දින තුනක නිරෝධායන කාලසීමාවක් ද ගත කිරීමට සිදු වනු ඇත. එහෙත් විශේෂ පරීක්ෂණයකින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම තහවුරු වීමත්, පීසීආර් පරීක්ෂණය නෙගටිව් තත්ත්වයේ පැවැතීමත් සමඟ ඔවුන් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින්නේ නම් නිරෝධානය කාලසීමාවකින් තොරව ජෛව බුබුළට එක් විය හැකි බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් කීවේය. මේ ව නවිට අබුඩාබි නුවර පැවැත්වෙන ටී10 තරගාවලියට එක් වී සිටින එල්පීඑල් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලාංකික සහ විදේශිය ක්‍රීඩකයන් දැනටමත් ජෛව බුබුළක රැඳී සිටින බැවින් ඔවුන්ට එම පරික්ෂණ සිදු නොවනු ඇත. එල්පීඑල් තරගාවලියට එක් වන සියලු කණ්ඩායම්වලට ඉහළ මට්ටමේ වෛද්‍යවරයකු බැගින් සැපයෙන අතර, තරගාවලිය පැවැත්වෙන කාලසීමාව ඇතුළත තවත් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණ ගණනාවක් සිදු කිරීමට නියමිතය.

එල්පීඑල් තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති රවීන් වික්‍රමරත්න, එල්පීඑල් තරගාවලියේ හිමිකරුවන් වන අයිපීජී සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහත්වරුන් ද මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ අතර, ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානි චින්තක එදිරිමාන්න මහතා ද මාධ්‍ය හමුවට එක්ව සිටියේය.