Home CRICKET කණ්ඩායම් පහයි… තරග 23 යි….එල්.පී.එල්. ලෑස්තියි

කණ්ඩායම් පහයි… තරග 23 යි….එල්.පී.එල්. ලෑස්තියි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර ලංකා ප‍්‍රිිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියක් විදෙස් ක‍්‍රීඩකයන්ගේ සහභාගීත්වය ඇතිව පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනූව අදාළ තරගාවලිය ලබන අගෝස්තු මස 14 වැනිදා සිට සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත.
ලොව ශීග‍්‍රයෙන් ජනප‍්‍රිය වන විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් විදෙස් ක‍්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය වසර කිහිපයේදීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට පැවැත්වීමට නොහැකිවීම සම්බන්ධව ක‍්‍රීඩකයෝ යම්කිසි කලකිරීමකට ලක්ව සිටිති. ‘‘අපිට ලොකු අඩුවක් තියෙනවා හරි ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් නැති එක. මොකද ලෝකයේ හැමතැනම හොඳ ප‍්‍රිමියර්ලීග් තරගාවලි තියෙනවා. ඒ තරගාවලිවලට අපේ ලසිත් මාලිංග, ඉසුරු උදාන සහ තිසර පෙරේරා වගේ ි කිහිප දෙනෙක් විතරයි තෝරගන්නෙ. අපේ තවත් දක්ෂ ක‍්‍රීඩකයන් හිටියට ඒ තරගාවලිවලදි අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ඒ නිසා විදෙස් ක‍්‍රීඩකයන් ගෙනල්ලා අපේ රටේ එවැනි තරගාවලියක් තිබ්බොත් ලොකු අත්දැකීමක් සහ හොඳ ක‍්‍රීඩකයන් තෝරගන්න පුළුවන්. එතනදි ක‍්‍රීඩකයන් ගන්න අත්දැකීම ගොඩක් වටිනවා.’’ යැයි වත්මන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක‍්‍රීඩකයකු පැවසීය.
ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය ලබන ඔක්තෝම්බර් මස ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානට පෙර තරගාවලිය කෙසේ හෝ පැවැත්වීමට අවශ්‍ය මුලික වැඩකටයුතු මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සිදුකර තිබෙන බව ප‍්‍රධාන ක‍්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා පවසයි
‘එල්.පී.එල්. තරගාවලියේ මූලික වැඩකටයුතු දැන් අපි කතා කරගෙන යනවා. එතනදි දැනටමත් රූපවාහිනී විකාශණ අයිතිය සහ කණ්ඩායම් හිමිකරුවන් සම්බන්ධ වැඩකටයුතු කරගෙන යනවා. රූපවාහිණී විකාශණ අයිතිය කවුරු හරි ගත්තට පස්සෙ අපේ මිල ගණනක් බලලා ඉතිරි වැඩ කටයුතු කරනවා. කොහොමත් අපි මේ තරගාවලිය පවත්වන්න උපරිම උත්සහයක ඉන්නවා.’
කණ්ඩායම් පහකින් සමන්විත ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ එක් කණ්ඩායමකට ක‍්‍රීඩකයන් 20 ක සංචිතයක් බැගින් ක‍්‍රීඩකයන් 100 දෙනකු කණ්ඩායම් පහට තෝරා ගැනීමට නියමිත අතර ප‍්‍රබල විදෙස් ක‍්‍රීඩකයන්ද ඒ අතරට එක් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සැලසුම් කර තිබේ. විදෙස් ක‍්‍රීඩකයන් කිසිවකුටත් මෙතෙක් ආරාධනා කර නොමැති අතර එය මූලික වැඩකටයුතු අවසන් වීමෙන් පසුව සිදුකිරිමට සැලසුම් කර ඇත.
එක් කණ්ඩායමක් පළමු වටයේදී තරග දෙකකට සහභාගි වන අතර අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරග 23 කින් තරගාවලිය සමන්විත වේ. සියලූම තරග කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය, පල්ලකැලේ ක‍්‍රීඩාංගණය, දඹුල්ල ක‍්‍රීඩාංගණය සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට යෝජිතව තිබේ.
කෙසේ වෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් පවතින නීති රීති එම කාල සීමාවේදී පැවතුනහොත් නිරෝධාන ප‍්‍රතිපත්තිවලට අනුකූලව තරගාවලිය පවත්වන වන ඈෂ්ලිද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. ‘‘පුහුණුවීම් කරන්න පුළුවන්. හැබැයි එකම තැනක තමයි ඒ අයට නිරෝධානය වන කාලසීමාවේදී පුහුණුවිම් කරන්න වෙන්නෙ. තැනින් තැනට ගෙනි යන්න බැහැ. දවස් 14 ඉවර වෙලා තමයි තරග කරන්න වෙන්නෙ. සෑම කණ්ඩායමකටම ඒක පොදුයි. අපි දැනටත් ජාතික කණ්ඩායම පුහුණුවීම් කරන්නෙත් ඒ ආකාරයට.’‘
ශ‍්‍රී ලංකාවට පසුව ටෙස්ට් වරම් ලැබු රටවල් වන බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තයද විදෙස් ක‍්‍රීඩකයන් සහභාගී කරගනිමින් පසුගිය වසර කිහිපයේදී විස්සයි විස්ස ප‍්‍රිමියර් ලීග් තරගාවලි පැවැත්වුවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය වසර අටකට ආසන්න කාලයේදී දේශීය තරගාවලිය හැරුණුකොට ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට නොහැකිවිය. දේශීය තරගාවලිය පවත්වන විට නොයෙකුත් විවේචන එල්ල වූ අතර එහිදී හතරේ සීමාවද ක‍්‍රීඩා සමාජ තරගාවලි මට්ටමේ පැවතුන අතර එම අවස්ථාවන් ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති තරගවලදී හොඳින් දැක ගන්නට ලැබුණි.
මීට පෙර 2011 වසරේදී ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් වශයෙන් විස්සයි විස්ස තරගාවලියක් ආරම්භ කෙරුණද එම තරගාවලිය 2012 වසරේදි පමණක් පැවැත්වුණි. කණ්ඩායම් හතක සහභාගීත්වයෙන් පැවැති එම තරගාවලිය අතර මග නවතා දැමීමට සිදුවීමෙන් ක‍්‍රීඩකයන්ට විශාල අසාධාරණයක් සිදුවිය.