Home CRICKET මිස්බා යයි

මිස්බා යයි

පාකිස්තාන් ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ මිස්බා උල් හක් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරය අතහැර දමා තිබේ. නමුත් ඔහු තවදුරටත් පුහුණුකරු වශයෙන් කටයුතු කරන බව එරට ක‍්‍රිකට් ආයතනයට දන්වා ඇත.
ඉකුත් 2019 වසරේදී පාකිස්තාන් ක‍්‍රිකට් පුහුණුකරු සහ තේරීම් කමිටු නිසි බළධාරියා වශයෙන් මිස්බාව පත්කරන ලදී. එහිදී ඇතැම් පාර්ශ්ශව විසින් මිස්බාගේ තේරීම් ක‍්‍රමවේදය විවේචනයට ලක්වු අවස්ථාද තිබුණි. කෙසේ වෙතත් අදාළ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් සියලූ බලතල හිමිව තිබූ මිස්බාට ලබන දෙසැම්බර් 1 වැනිදා තෙක් අදාළ රාජකාරිය සිදුකිරීමට පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය උපදෙස් දී ඇත.
‘‘මම රාජකාරි දෙකම හොඳින් සිදුකළා. නමුත් ඉදිරි මාස 24 දිහා බැලීමේදී මට තියෙන රාජකාරිත් සමග මගේ මුළු කාලයම මේ දෙකටම ආයෝජනය කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා පුහුණුකරු භූමිකාව වෙත වඩාත් ශක්තිමත්ව සහ වැඩි කාලයක් අවධානය යොමු කරන්න මම තීරණය කළා. මගේ ආසාව ක‍්‍රීඩකයන්ගේ සංවර්ධනයට දායක වීමයි.’’ යනුවෙන් මිස්බා පවසයි.
පාකිස්තාන් ක‍්‍රිකට් ආයතනය විසින් පසුගිය කාලයේ නව සැලැස්මවල් සකස් කරමින් එරට දේශීය තරග රටාවද වෙනස් කරන ලදී. කෙසේ වෙතත් ඉදිරියේදී පැමිණෙන තේරීම් කමිටු සභාපතිවරයා සමග ශක්තිමත්ව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවද මිස්බා පවසයි.