නඩාල් ලෝක වාර්තාවක් පිහිටුවයි

ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි අවසන් මහා තරගයේදී රුසියාවේ ඩානිල් මෙඩ්වෙඩිව් ලකුණු 2-6ක්, 6-7ක්, 6-4ක්, 6-4ක් සහ 7-5ක් ලෙස පරාජය කරමින් කුසලානය දිනූ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් අන්තර්ජාතික ටෙනිස් පිටියේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් විය.

මීට පෙර ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ සර්බියාවේ නොවැක් ජොකෝවික් සමඟ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන සංඛ්‍යාවක් දිනාගැනීමේ සම වාර්තාවට හිමිකම් කී නඩාල් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කුසලානයත් සමඟ සිය ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන සංඛ්‍යාව 21 දක්වා ඉහළ දමා ගත්තේය.

පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය වසරේ ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවලියේ අතරමගදී ඉවත් වූ නඩාල් යළි පිටියට පිවිසීමේ අවදානමකට ලක් වී සිටි අතර, මෙවර සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සමත්වීම කැපී පෙනිණි.

පැය පහකට වඩා කාලයක් ඇදී ගිය අවසන් මහා තරගයේ ජයග්‍රහණයෙන් පසු පිටිය මැද වැතිරී සතුටු කඳුළු වැගිරූ නඩාල් මේ තරගය තම ටෙනිස් දිවියේ වඩාත්ම හැඟුම්බර තරගයක් බව කියා සිටියේය.

35 හැවිරිදි මේ විශිෂ්ට ක්‍රීඩකයා වසර 2009න් පසු ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් කුසලානය ජය ගත් පළමු අවස්ථාව මෙය වන අතර, මේ දක්වා ඔස්ට්‍රේලියා කුසලාන 2ක්, ප්‍රංස කුසලාන 13ක්, විම්බල්ඩන් කුසලාන 2ක් සහ අමෙරිකානු කුසලාන 4ක් දිනා ගැනීමට සමත්ව සිටී.