වූෂු වලින් ලොව දිනන්නට අලුත් වැඩක්

වූෂු ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගැනීමේ අරමුණ ඇතිව එම ක්‍රීඩාවේ නිරත ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ පුහුණු කටයුතු දිරිගන්වමින් ඔවුන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා ශ්‍රී ලංකා වූෂු සම්මේලනය හා ගිවිසුම්ගත වෙමින් ඔවුන්ට මූල්‍යමය ප්‍රදානයක් ලබාදීම අද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා ශ්‍රවණාගාරයේ දී සිදුවිය.
මීට සමගාමීව  වූෂු ක්‍රීඩාවේ නිරත  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කටයුතු සිදුකිරිම සඳහා නියමිත ස්ථානයක් නොමැතිවීමේ අඩුව පුරවමින්ශ්‍රී ලංකා වූෂු සම්මේලනය වෙත පුහුණු මධ්‍යස්ථානයක් ලබාදීම ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා වූෂු සම්මේලනය වෙනුවෙන් එහි සභාපති මානෙල් ධර්මකීර්ති මහතාඅදාළ ගිවිසුමට අත්සන් තැබූහ.
මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන්අතරට මෙම වූෂු ක්‍රීඩාව ද ඇතුළත්ය.
දැනට වූෂු ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරිගැන්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා වූෂු සම්මේලනයට රුපියල් 40,705,000/-ක මුදලක් මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.
මෙම අවස්ථාවට අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රොනී ඊබ්‍රාහිම් මහතා, උසස් දක්ෂතා කමිටුවේ සාමාජිකයින්, ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ලේකම් විජිත් එදිරිසිංහ මහතා සහ එම සම්මේලනය නියෝජනය කරමින් වූෂු ක්‍රීඩක ක්‍රීඩිකාවන්,සාමාජිකයින් ඇතුළු තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරි පිරිසක් සහභාගී වූහ.