නෙට්බෝල් සංචිතයේ 6කට ඔමික්‍රොන්…

ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් 6කට කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදනය වෙයි. මේ හේතුවෙන් මෙම ක්‍රීඩිකාවන් නිරෝධායනය කිරීමට වහාම පියවර ගෙන ඇත. මේ ක්‍රීඩිකාවන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරද්දී පීසීආර් පරීක්ෂණයට ලක් වීමෙන් පසු කොරෝනා ධනාත්මක බව තහවුරු වී ඇති අතර, සංචිතයේ අනෙක් ක්‍රීඩිකාවන් තවමත් පීසීආර් පරීක්ෂණවලට ලක් වී නැත.

මේ වසරේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ඉලක්ක කොට මේ පුහුණුවීම් බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ආරම්භ වී ඇති අතර, මෑතකදී දක්ෂතා අතරට පිවිසි නවක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ ස්ථාන අහිමිව යන තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ. පසුගියදා දිගන ගෘහස්ථ ක්‍රිඩාගාරයේදී නිමාව දුටු ජාතික නෙට්බෝල් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය දිස්ත්‍රික් කිහිපයක පැවැත්වූ දක්ෂතා සෙවීමේ පරීක්ෂණවලදී සොයාගත් ක්‍රීඩිකාවෝ මෙලෙස වේගයෙන් ඉදිරියට පැමිණ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට අභියෝග කරමින් සිටිති.

ජාතික නෙට්බෝල් තරගාවලියේ ශූරතාව හැටන් නැෂනල් බැංකුව දිනාගත්ත ද ගුවන් හමුදාව අවසන් තරගයේදී ප්‍රබල පීඩනයක් එල්ල කළේය. එම අවසන් තරගයට එක් වූ ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් ද කොරෝනා ඔමික්‍රොන් වයිරසය ආසාදනය වූ අය අතර සිටිති.