පාපැදි ශූරයින් අධිවේගී මාර්ගයේ…

????????????????????????????????????

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පාපැදි තරග මේ මස14 දින උදේ 8.30 ට අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේදී ආරම්භ කිරීමට නියමිතය.
මෙම පාපැදි තරග මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණැගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව පැවැත්වේ.
තරගය කිලෝමීටර් 80 ක දුරකින් සමන්විත වන අතර මීරිගම සිට කුරුණැගල දක්වා ගොස් නැවත මීරිගම වෙත ලගා වීමට සැළැසුම් කර ඇත. කිලෝමීටර් 80 ක් ක්‍රීඩකයින්ට නිදහසේ මාර්ග තදබදයකින් තොරව තරග කිරීමට ලැබෙන ප්‍රථම අවස්ථාව මෙය වනවා මෙන්ම ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් තුල පා පැදි ධාවන තරගයක් පවත්වන ප්‍රථම අවස්ථාවද මෙයයි.
කණිෂ්ඨ කණ්ඩායම හා සුපිරි කණ්ඩායම ලෙස කාණ්ඩ 02 ක් යටතේ මෙම තරග පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගතවල ඉහලින්ම සිටින ක්‍රීඩකයින් 125 දෙනෙකු සුපිරි කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.
වයස අවුරුදු 19 න් පහළ කණිෂ්ඨ කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 70 ක් පමණ තරග වදින අතර කාණ්ඩ දෙක
තරග දෙකක් ලෙස පැවැත් වේ. සුපිරි කාණ්ඩයේ තරගය පළමුව ආරම්භ කරන බවත් තරග දෙකෙහිම ක්‍රීඩකයින් 10 දෙනා බැගින් තෝරාගෙන විශාල ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කරන බවත් සංවිධායක මන්ඩලය පවසයි.
ඒ අනුව පළමු ස්ථානයට රුපියල් ලක්ෂයක මුදලක්, දෙවන ස්ථානයට 75,000.00 ක මුදලක් ද, තෙවන ස්ථානයට රුපියල් 50,000.00 ක් ආදී වශයෙන් පළමු 10 දෙනාට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.

කොවිඩ් වසංගතය තත්වය නිසා පාපැදි ක්‍රීඩාවට යම් බලපෑමක් එල්ල වූ පසුබිමක් තුළ මෙවැනි තරගයක් පවත්වන්නට ලැබීමත් අධිවේගී මාර්ගය විවෘත කිරීමට සමගාමීව මෙවැනි තරගයක් පැවැත්වීමට හැකිවීමත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශය ඇතුළු රජයේ බලධාරීන්ට ස්තුතිවන්ත වෙන බවද ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා පවසයි.
ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක යන කණ්ඩායම් ඇතුලු ලංකාවේ තිබෙන ක්‍රීඩා සමාජ 30 ක පමණ ක්‍රීඩකයින් මෙම තරග සදහා ඉදිරිපත්වන බවද පැවැසේ. තවද ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී සියලුම රේසිං කාණ්ඩයේ තරග කරුවන්ට මේ තරග සදහා සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබීමද මෙරට පාපැදි ක්‍රීඩකයින් හට විශාල පිටුවහලක් බවද ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වැඩිදුරටත් පවසයි.