ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ක්‍රිකට් නරඹන්න දෙන්නෙ 50%කට පමණයි, එන්නත්කරණ කාඩ්පතත් අනිවාර්යයි

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයේ සමස්ත ප්‍රේක්ෂක ධාරිතාව වන 25,000 ක සංඛ්‍යාවෙන් 50%කට පමණක් අවස්ථාව ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (12) නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.
මෙම තරග නැරඹී සඳහා ක්‍රීඩාංගණයට පැමිණෙන සියලුම ප්‍රේක්ෂකයන් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු අතර එන්නත ලබාගත් බව තහවුරු කිරීම සඳහා අදාළ එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒම හෝ එහි ඡායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටී.
තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ තරගය නැරැඹීමට ක්‍රීඩාංගණයට ඇතුළු වන දිනට එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන දින 14ක් ඉක්මගොස් නොමැති අයට තරගය නැරඹීමේ අවස්ථාව හිමි නොවන බවයි .
හෙට දිනයේ සිට ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශ පත්‍ර මිළදී ගත හැකි අතර ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි මස 16 වැනිදා පැවැත්වේ. දෙවැනි තරගය ජනවාරි මස 18 වැනිදාත්, තුන්වැනි තරගය 21 වැනිදාත් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. සියලුම තරග පැවැත්වෙන්නේ දිවා/රාත්‍රී තරග ලෙසයි