රොෂේන් සිල්වා ශතකය එපා කියයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලි නුවරදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ පස්වැනි දිනය අවසන් වීමට පැය භාගයක් පමණ තිබියදී දෙපිලේ එකඟතාවයෙන් තරගය අතහැර දැමීමට තීරණය කළ අතර එහිදී පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ රොෂේන් සිල්වාට මංගල ශතකය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 26 ක් පමණි.
තරගයෙන් පසුව නිරෝෂන් දික්වැල්ල විසින් පවසා ඇත්තේ රොෂේන්ට ශතකය අනවශ්‍ය බවත් ඊට වඩා රට සහ කණ්ඩායම ගැන හිතා තරගය නවතා දමන බවට තමාට පැවසූ බවයි.
‘මම ඇහැව්වා රෙෂේන්ගෙන් ශතකයට යනවද කියලා. එයා කිව්වා නැහැ මට ශතකය අවශ්‍ය නැහැ තරගය නවතලා දාමු ඒක අපිට ගොඩක් වටිනවා කියලා. මොකද බැරිවෙලාවත් කඩුලූ ටික දැවී ගියොත් තරගය පරදින්නත් තිබ්බා. ඒ නිසා අවධානමක් නැතිව තරගය අතහැර දැම්මා.’ යැයි දික්වැල්ල පවසා තිබේ.
රොෂේන් පන්දු 154 කදී හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 74 ක් ලබා ගත්තේය.