Home CRICKET රෝස් ටේලර් කලින්ම බය වෙයි

රෝස් ටේලර් කලින්ම බය වෙයි

ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවකු වන රෝස් ටේලර් ශී‍්‍ර ලංකාව සමග ටෙස්ට් කී‍්‍රඩා කිරීම පහසු කටයුත්තක් නොවන බව පවසයි. තරගාවලිය ආරම්භ වීමටත් පෙරම රෝස් ටේලර් ශ‍්‍රී ලංකාවේ තණතීරු සම්බන්ධයෙන්ද දෙගිඩියාවකින් පසුවේ.
නවසීලන්තය අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලි පහක්ම ජය ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ටේස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවේ. නමුත් රෝස් ටේලර් පවසන්නේ ශ‍්‍රී ලංකාවේදී ටෙස්ට් තරග ක‍්‍රීඩා කිරීම පහසු කර්තව්‍යයක් නොවන බවයි. මෙහි ඇති දඟ කැවෙන තණතීරු සහ ශ‍්‍රී ලංකා පිල මව්බිමේදී දක්වන දක්ෂතා සම්බන්ධයෙන් ඔහු අභියෝගාත්මකව සිතමින් සිටියි.
‘‘ශ‍්‍රී ලංකාවට ගිහින් ටෙස්ට් ක‍්‍රීඩා කරනවා කියන එක තරමක් අසීරු අභියෝගයක්. එහෙත් අපි අතීතයේදී ශ‍්‍රී ලංකාවට ගොස් හොඳින් ක‍්‍රීඩා කරපු අවස්ථා තියෙනවා. අපිට දඟ පන්දු යවන්නන් සිව්දෙනකුම ඉන්නවා. අපි 2012 දී ශ‍්‍රී ලංකාවේදී ජයග‍්‍රහණය කළා. නමුත් ශ‍්‍රී ලංකාවේ ඇති තණතීරුවල සහ ඔවුන් මව්බිමේදී දක්වන දක්ෂතා අනූව තරග කිරීම පහසු නැහැ.’’
ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවය වෙනුවෙන් වසර තුනක් පුරා පැවැත්වෙන ටෙස්ට් තරගාවලි නම් කරද්දී ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙරට ලෝක ශූරතා ඉලක්කය වෙනුවෙන් තරග වදින පළමු තරගාවලිය වශයෙන්ද සටහන් වේ.
නවසීලන්තය අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව්වන් (2-0*, එංගලන්තය (1-0*, පාකිස්තානය (2-1*, ශ‍්‍රී ලංකාවට (1-0* සහ බංග්ලාදේශයට (2-0* එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණය කර තිබේ. ශ‍්‍රී ලංකා පිල අවසන් වරට දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් තරගාවලිය 2-0 ජය ගෙන තිබුණද ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හය වැනි ස්ථානයේ පසුවේ.