Home FOOTBALL සීෂෙල්ස් රාජපක්ෂ කුසලාන රැගෙන යයි

සීෂෙල්ස් රාජපක්ෂ කුසලාන රැගෙන යයි

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී දඬුවම් පහර 3-1කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කොට සීෂෙල්ස් පිල අමෙරිකානු ඩොලර් 30,000ක (රුපියල් ලක්ෂ 65ක් පමණ) මුදල් ත්‍යාගය හා අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය රැගෙන යයි.

කොළඹ තුරඟ තරග පිටියේ විදුලි ආලෝක ධාරා මැද පැවැති මේ තරගයේ ශ්‍රී ලංකාව සතුව තිබූ ජය අවසන් මිනිත්තුවේදී සිෂෙල්ස් පිල උදුරා ගැනීමට සමත් වීම 5000කට අධික නරඹන්නන්ගේ කනගාටුවට හේතුවක් විය. ආරම්භයේ සිට කරට කර සටනක් තිබූ මේ තරගයේ පළමු භාගයේදී දෙපිලම සම තත්ත්වයක පසු වූ අතර, තරගයේ 57 වැනි මිනිත්තුවේදී මොහොමඩ් ආකිබ් වාර්තා කළ ගෝලයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය. අනතුරුව 75 වැනි මිනිත්තුව්දී මේ තරගාවලියේ පාපන්දු තරුවක් බවට පත් වූ වසීම් රසීක් දඬුවම් පහරක් මඟින් ශ්‍රී ලංකා මාතාව ඉදිරියේ තෙවැනි ගෝලය වාර්තා කිරීමෙන් ජයග්‍රහණය සඳහා යහපත් අඩිතාලමක් වැටිණි. තරගයේ 83 වැනි මිනිතුවේදී සීෂෙල්ස් ගෝලයක් වාර්තා කළ ද ගෝල් 3-2ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියේය.

එහෙත් තරගය නිමා වීමට ආසන්නව 89 වැනි මිනිත්තුවේදී සියල්ල වෙනස් කරමින් සිෂෙල්ස් පිල වාර්තා කළ ගෝලයෙන් තරගය යළිත් සම තත්ත්වයකට පත් වූ අතර, සුළු වේලාවකින් නියමිත කාලය හමාර විය. තරගයේ තීරණයක් ගැනීම උදෙසා දඬුවම් පහර පිරිනැමූ අතර ශ්‍රී ලංකාව එල්ල කළ මර්වින් හැමිල්ටන්ගේ හා අෂිකූර් රහ්මාන්ගේ පහර දෙකම අසාර්ථක වූහ. සීෂෙල්ස් පිලේ පළමු ප්‍රහාරය නායක සුජාන් පෙරේරා වැළැක්වූ අතර, අනෙක් ප්‍රහාර තුනම සාර්ථක වීමෙන් සීෂෙල්ස් ජයග්‍රහණය තහවුරු විය.

වසර ගණනාවක් ජයග්‍රහණ සොයමින් එකතැන කල්මැරූ ශ්‍රී ලංකා පාපන්දු පිලට වසර 21කට පසු ප්‍රධාන ශූරතාවක් දිනා ගැනීමේ ඓතිහාසික අවස්ථාව ඊයේ දිනයේ උදා වී තබූ අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මුල සිටම සැලසුමකින් යුතුව ක්‍රීඩා කළහ. එහෙත් අවසන් මිනිත්තු කිහිපයේදි එම සැලසුම් සියල්ල බිඳවැටිණි. වසර 2000දී මාලදිවයිනේ පැවැති මාලදිවයින ජනාධිපති කුසලාන ආරාධිත පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පිල මේ වනතුරු ප්‍රධාන පාපන්දු තරගාවලියක ශූරතාවක් දිනා නැති හෙයින් ඊයේ තරගය කෙරෙහි කාගේත් අවධානය යොමුව පැවැතියේය.

වසර 15කට පසුව අන්තර්ජාතික පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයකට පිවිසීමේ අවස්ථාව දුෂ්කර ගමනකින් පසු ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ උදා කර ගෙන සිටි බැවින් මේ අවසන් තරගයේ ජයග්‍රහණය තවත් ප්‍රාර්ථනාවක් විය. ශ්‍රී ලංකාව අවසන් වරට පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිස ඇත්තේ වසර 2006දී කොළඹ සුගතදාස පිටියේ පැවැති දකුණු ආසියා පාපන්දු තරගාවලියේදී පාකිස්තානයට එරෙහිවය.

මේ තරගාවලියේ වැඩිම ගෝල් රැස් කළ ක්‍රීඩකයා බවට පත් වෙමින් ගෝල් 7කින් වාර්තා පොත අලුත් කිරීමට වසීම් රසීක් සමත් වූ අතර, ඔහුට තරගාවලියේ වීරයාට හිමි වන ගෝල්ඩන් බුට් සම්මානය පිරිනැමිණි. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි වන ගෝලඩන් බෝල් සම්මානය ශ්‍රී ලංකා පිලේ නායක සුජාන් පෙරේරාට හිමි විය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ තරගය නැරැඹීමට එක්ව සිටි අතර, ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගිහානී ඉන්ෆැන්ටිනෝ මහතා ඇතුළු පිරිසක් අතින් ජය සංකේත ප්‍රදානය කෙරිණි. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා, රාජ්‍ය ඇමැති ඩි. වී. චානක, ඇමැති සම්බන්ධීකරණ ලේකම් රොනී ඉබ්‍රහිම්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර්, ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් රුද්‍රිගු, ලේකම් නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ යන මහත්වරු ද එක්ව සිටියහ.

ශූරතාව දිනාගත් සී ෂෙල්ස් පිල ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 199 වැනි ස්ථානයේ හා අනුශූර ශ්‍රී ලංකාව 204 වැනි ස්ථානයේ රැඳී සිටී.