SABA පැසිපන්දු අනුශූරතාව ශ්‍රී ලංකාවට.

පසුගිය දා බංගලාදේශයේ ඩකා නුවරදී නිමාවට පත්වූ දකුණු ආසියානු පැසිපන්දු සම්මේලන
(SABA) පැසිපන්දු ශූරතාවලියේ අනුශූරතාව දිනා ගන්නට ක්ලින්ටන් ස්ටැලෝන්ගේ
නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පැසිපන්දු කන්ඩායම සමත් විය.
ජාතික පැසිපන්දු කණ්ඩායම ගෙවී ගිය සමය තුළ වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමේ
ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේ ඔවුන්ගේ ප්‍රධාන ජාත්‍යන්තර අභියෝගය මෙසේ ඩකා හි
පැවති SABA ශූරතාවලියේ අනුශූරයන් බවට පත්වන්නට හැකියාව ලැබුණි.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම දස්කම් කැපී පෙනුණු
අතර ශ්‍රී ලංකාව කලාපීය බලවතා වන ඉන්දියාව හමුවේ එක් තරගයක් පමණක් පරාජයට පත්
විය.
දසුන් නිලන්ත, නිමේෂ් ප්‍රනාන්දු සහ රුක්ෂාන් අතපත්තු යන ක්‍රීඩකයින්ගේ දක්ෂතා
තරගාවලිය පුරා කැපී පෙනුනි. කෙසේ වෙතත් නායක ක්ලින්ටන් ස්ටැලෝන්ගේ නායකත්ව
කුසලතා මෙන්ම දක්ෂතාද ඉහළ මට්ටමක පැවැති බවට වාර්තා වන අතර ඔහු ප්‍රහාරක සහ
ආරක්ෂක යන දෙඅංශයෙන්ම ඉතාමත් ඉදිරියෙන් සිටියේ නායකයෙකු ලෙස ඔහුට බොහෝ
දුර ගමනක් යා හැකි බවද පෙන්නුම් කරමිනි.

ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු තේරීම් කමිටුව තාරුණ්‍යය හා අත්දැකීම් සම්මිශ්‍රණයකින්
කණ්ඩායම සමතුලිත කර තිබූ අතර මෙය අනාගතය සඳහා ජාතික කණ්ඩායම ගොඩනැංවීමටද
කදිම අවස්ථාවක් විය. මෙම තරගාවලියට සහභාගී කරවීමට පෙර මෙම කණ්ඩායම මාසයක
කාලයක් ජෛව ආරක්ෂිත බුබුලක තබා සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ නේවාසිකව පුහුණු
කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ සභාපති ඒලියන් ගුණවර්ධන මහතා මෙවර තරගාවලියේදී
කණ්ඩායම් ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඔහු අනු ශූර ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු
කණ්ඩායම සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඉහත පළවේ.