ක්‍රිකට් නිලවරණය කල් දැමීමට අයි.සී.සී එකඟතාව හිමිවෙයි.!

පෙබරවාරි මස 07 වනදාට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 21 වනදා දක්වා කල් තැබීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී එකඟතාවය හිමිවූ බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.


ඒ මහතා ඊයේ (20)  අයි.සී.සී ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා හමු වී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමේ හේතුව පැහැදිළි කර දී තිබේ. ඒ
අවස්තාවේදී ඩේවිඩ් රිචඩ්සන් මහතා කිසිදු විරෝධයක් නොදැක්වූ බවද දැන ගන්නට තිබේ.

ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මස 09 වැනිදාට පෙර නොපැවැත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකත්වයට කිසිදු ප්‍රශ්නයක් නොවන බව ආරංචි
මාර්ග සඳහන් කරයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මීලඟ විධායක සභා රැස්වීම පෙබරවාරි මස 28 වැනිදා පැවැත්වෙන අතර එම රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජන්දයෙන් තේරී පත්වූ කමිටුවක නියෝජිතයා ඉදිරිපත් කිරීම මූලික අවශ්‍යතාව බවට පත්ව තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් මහතා අතර හමුව ඩුබායි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් සභා මුලස්ථානයේදී පැවැත්විණි.

සටහන : නුවන් ජයතිස්ස