
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෙඩ වෙද්දී සෙන්චූරියන් හී පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 45 ක ජයක් උදුරා ගත් දකුණු අප්‍රිකානුවන් ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ලද දෙවැනි ජය වාර්තා කිරීමට ඊයේ (29 දා) සමත් විය. ඒ අනුව දකුනු අප්‍රිකානුවන්ට අදාළ ජයත් සමග ප්‍රසාද ලකුණු 60 ක් හිමිවිය.
අවසන් වරට දකුණු අප්‍රිකාව 2017 දී ජොහැනස්බර්ග් හිදී ශ්‍රී ලංකාව පරාජයකිරීමෙන් පසුව ටෙස්ට් තරගයක් ජය ගැනීම විශේෂත්වයකි. ඒ අතරවාරයේ පැවැති ටෙස්ට් තරග හතරම ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් විය. දෙරට අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 30 න් දකුණු අප්‍රිකාව තරග 15 ක් සහ ශ්‍රී ලංකාව තරග නවයක් වශයෙන් ජය ගෙන තිබේ.
පළමු ඉනිමේදී ලකුණු 225 ක වාසියක් ලබාගත් දකුණු අප්‍රිකානුවන්ට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම විනාශ කිරීමට වැය වූයේ පන්දුවාර 46.1 ක පමණි. ආබාධයක් හේතුවෙන් ධනංජය ද සිල්වා පිති ප්‍රහාරයට නොපැමිණීම ඔවුන්ගේ ජයග්‍රහණය ඉක්මන් කරද්දී මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් උදුරා ගැනීමට වනිඳු හසරංග සමත් විය.
අංක හත පිතිකරුවා වශයෙන් පැමිණි වනිදු හසරංග පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 59 ක් ලබා ගත්තේය. මීට අමතරව ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 87 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 64 ක් ලබාගත් තර ඔවුන් දෙදෙනාට අමතරව අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවන් අට දෙනකු එකතුව දෙවැනි ඉනිමේදී ලබා ඇත්තේ ලකුණු 47 ක් පමණි.
කණ්ඩායමේ ක්‍රීඩකයන් ලෙඩ වීම හේතුවෙන් පන්දු යැවීමේ ශක්තිය අඩපණ වූ බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි. “අපේ පිතිකරණය ගැන මම සතුටු වෙනවා. අපිට හදිසියේම වේග පන්දු යවන්නන් ආබාධයකට ලක් වුණා. ඒ වගේම ධනංජය ද සිල්වාත් ආබාධ වුණා. කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම සේවය අහිමි වුණා. කොහොම වුණත් ඊළඟ තරගයට යන විට තුවාල ගැන අපි කණගාටු නොවී තරග වදිනවා. අපිට තවත් නවකයන් සංචිතයේ ඉන්නවා.”
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෙඩ වුවද ටෙස්ට් තරගයක් ජය ගැනීම පහසු කටයුත්තක් නොවන බව දකුණු අප්‍රිකානු නායකයා පවසයි. “ඔවුන්ගේ ක්‍රීඩකයන් තුවාල වීම ඔවුන්ගේ වරදක් නෙමෙයි. ටෙස්ට් තරගයක් ජය ගැනීම පහසුවෙන් කරන්න බැහැ. අපේ පිතිකරණය හොඳින් තිබ්බා. ඒකත් අසීරු අභියෝගයක්. දෙවැනි ඉනිමේදී අපේ පන්දු යවන්නන් ඔවුන්ගේ රිද්මයට පැමිණියා.” යැයි ජයග්‍රහණයෙන් පසුව දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩී කොක් පැවසීය.
ලකුණු තත්ත්වය
ශ්‍රී ලංකාව පළමු ඉනිම 396 යි.
දකුණු අප්‍රිකාව පළමු ඉනිම 180 යි.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 46.1 කදී සියල්ල දැවී ලකුණු 180 යි.