පල්ලකැලේදී හතරකගේ කකුල් ලෙඩ වෙයි

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලකැලේදී පැවැති දෙවැනි විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයේදී සිව්දෙනකු ආබාධයකට ලක්විය. එහිදී පන්දු රැුකීමේදී ශ‍්‍රී ලංකා පිලේ නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසුරිය, කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්වූ අතර නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල්ද ආබාධයකට ලක්විය.
අදාළ ක‍්‍රීඩකයන් සිව්දෙනාගේම පාදවල ආබාධ සිදුවීම විශේෂත්වයකි. මාටින් ගප්ටිල් පන්දු රකිමින් සිටියදී පාදයේ ඇති වූ ආබාධය හේතුවෙන් පිතිකරණයේ යෙදීමෙන්ද වැලකී සිටි අතර තෙවැනි විස්සයි විස්ස තරගයට ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතී.
මේ අතර නිරෝෂන් දික්වැල්ලද පාදයේ ආබාධයක් හේතුවෙන් පළමු පන්දුවාර පහ ගතවීමටත් පෙර ක‍්‍රීඩාංගණයෙන් ඉවත් විය. ෂෙහාන් ජයසූරිය වෙත ආ උඩපන්දුව ඔහු රැුක ගනිද්දි අනෙක් අන්තයෙන් පැමිණි කුසල් මෙන්ඩිස් ඔහුගේ ඇගේ වැදීමෙන් එම දෙදෙනාගේද පාද ආබාධවලට ලක්විය. මේ ආබාධ සම්බන්ධයෙන් නිරෝෂන් දික්වැල්ල පවසන්නේ මෙවැනි අදහසකි.
‘‘මගේ කකුල ආබාධයි. මට නැවෙන්නත් අමාරුයි. ඒ නිසා තමයි පන්දු රකින්න ඇවිල්ලා ආයෙත් ගියේ. ෂෙහාන් සහ මෙන්ඩිස්ගේ ආබාධ එතරම් දරුණු වෙන එකක් නැහැ. නමුත් ඉදිරි දින කිහිපයේදී ස්කෑන් පරීක්‍ෂණ හෝ කරලා තමයි හරියටම කියන්න වෙන්නෙ.’’