ගුවන් ප්‍රහාරයෙන් පොලිසියට තුන් වරක් වරදියි

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩව තෙවැනි පරාජයත් ලද පොලිස් ක්‍රීඩා සමාජය ගුවන් හමුදා කණ්ඩායම සමග වැලිසර පැවැති තරගයෙන් ලකුණු 15-7 කින් පරාජයට පත්විය.
සත්කාරක ගුවන් හමුදා පිල උත්සාහක දිනුම් දෙකක් ගෝල ප්‍රවර්තනයක් සහ දඩුවම් පහරක් මගින් සිය ලකුණු රැස්කරන අතරවාරයේ පොලිස් කණ්ඩායමට සාර්ථක කරගත හැකිවූයේ උත්සාහක දිනුමක් සහ ගෝල ප්‍රවර්තනයක් පමනි.
රදේශ් සෙනෙවිරත්න විසින් වාර්තා කරන ලද උත්සාහක දිනුමේ ගෝල ප්‍රවර්තනය සිය නම ඉදිරියේ සටහන්කර ගැනීමට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් වූ අතර පළමු භාගය අවසන්වන තෙක් කණ්ඩායම් දෙකේ ලකුණු තත්ත්වයන්හි වෙනසක් නොවීය.
දෙවැනි භාගයේදී ගුවන් හමුදා පිලේ ලකුණු තත්ත්වය 12 ක් දක්වා ඉහළ දැමූ රුමේෂ් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරන ලදී. පොලිසිය පිට පිටම ලද තෙවැනි පරාජයද මෙය වේ.

කෙසේ නමුත් පොලිස් පිලට යම් බලාපොරොත්තුවක් ගෙනා කසුන් සුරංග උත්සාහක දිනුමක් වාර්තාකරගත් අතර එම ගෝල ප්‍රවර්තනය සන්දේෂ් ජයවික්‍රමගේ පාදයෙන් වාර්තා විය.
නමුත් අවසාන භාගයේදී ක්‍රියාත්මක වූ චරිත් සෙනෙවිරත්න සාර්ථක කරගත් දඩුවම් පහරත් සමග ගුවන් හමුදා කණ්ඩායමේ ජය තහවුරු විය.

නිත්තවලදී මහනුවරට පහසු ජයක්
සිය ජයග්‍රාහී රිද්මය අඛණ්ඩව පවත්වාගත් මහනුවර කණ්ඩායම යුද හමුදා පිල සමග පැවැති තරගයෙන් ලකුණු 58-13 ක පහසු ජයක් ලැබීය.