Home CRICKET ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද

දෙවැනි ටෙස්ට් තරගය ජයගනිමින් සාර්ථක ලෙස පාකිස්තාන සංචාරය නිමා කිරීමට තමා ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවසීය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (19 වැනිදා) කරච්චි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව කියා සිටියේය.

“කණ්ඩායමක් වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ තරගය ජය ගනිමින් ඉදිරියට යන්න. ඒ නිසා දෙවැනි තරගයේදීත් පාකිස්තානයට හොඳ සටනක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒත් පාකිස්තානය කියන්නේ එයාලගෙ රට තුළදි ලේසියෙන් පරාජය කරන්න පුළුවන් කණ්ඩායම් නෙමෙයි කියන එකත් අපි හොඳින්ම දන්නවා.” යැයි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිමුත් පැවසීය.

දෙරට අතර රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමා වූ අතර එහිදී දක්ෂතා දැක්වීමට දෙපිලේම පිතිකරුවෝ සමත් වූහ. ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන්ද, අබීඩ් අලී සහ බාබර් අසාම් පාකිස්තානය වෙනුවෙන්ද එහිදී ශතක ලබාගත්හ. පාකිස්තානය වේගපන්දු යවන්නන් සිවුදෙනෙක් සමග එම තරගයට සහභාගි වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම ඊට එක් වූයේ වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ පිට දඟ පන්දු යවන්නකු සමගිනි.

පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ කසුන් රාජිත, පාදයේ මස් පිඬු ඉරී යෑමක් හේතුවෙන් දෙවැනි තරගයට සහභාගි වීමෙන් වැලකී සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා සංචිතයේ සිටි ප්‍රදානතම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් වෙනුවට සංචිතයට ඇතුළත් වූ තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති අසිත ප්‍රනාන්දුට හෙට දිනයේදී ටෙස්ට් වරම් දිනාගැනීමට අවස්ථාවක් පවතී.

කෙසේ වුවත් පළමු තරගයට සහභාගි නොවූ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක්ද (ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹූල්දෙණිය) සංචිතයේ සිටින බැවින් තරගයට දිනක් තිබියදී කණ්ඩායමේ සංයුතිය හෙළි නොකිරීමට දිමුත් වග බලාගත්තේය. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ දඟ පන්දු යවන්නෙක් සමග තරග වදිනවාද, නැතහොත් වේග පන්දු යවන්නන් දෙදෙනෙක් සහ දඟ යවන්නන් දෙදෙනෙක් සමග තරග වදිනවාද යන්න සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි.

ටෙස්ට් ලෝක ශූරතාවලියේදී මේ දක්වා සහභගි වී ඇති තරග 3 න් තරගයක් ජයගෙන, තරගයක් පරාජයට පත්වී, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 80 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. තරග 3 කට සහභාගි වී ඉන් තරග 2 ක් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වී සෙසු තරගය ජය ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන සිටින පාකිස්තානය ලකුණු 20 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවෙයි