ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක පුහුණු තරඟය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාර ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරඟයට පෙර හෝබාර්ට් හි පැවැති ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම හා පැවැති තුන්දින පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සැලකිය යුතු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි විය. පුහුණු තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වුවද එම තරඟයේදී වැඩි ගෞරවයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන පිල සමත් විමත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වයත් මෙම තරඟයේදී මැනවින් ප්‍රදර්ශණය විය.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු 05 කට ලකුණු 316 ක් ලබා සිටියදී ඉනිම අත් හිටවා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට පිටියට ආරාධනා කල අතර කර්ට්ස් පීටර්සන් ලකුණු 157 ක් හා ජේක් ඩොරන් ලකුණු 102 ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පිතිකරුවන් 05 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටියදී ඉනිම අත් හිටුවා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කලද දෙවන ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ළකුණු 131ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ඉනිම් දෙකේදීම කඩුලු 11ක් දැවී ලකුණු 307 ක් ලබා ගනිද්දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම ඉනිම් දෙකේදීම කඩුලු 08 ක් දැවී ලකුණු 540 ක් රැස් කර ගැනීමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පසු බැසීම පැහැදිලිවම දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා දෙවැනි ඉණිමේදී දිමුත් කරුණාරත්න හා කුසල් පෙරේරා ලකුණු 03 කට හා ධනංජය ද සිල්වා ලකුණු 02කටත් දැවී ගියහ.යම් තරමකට හෝ සෑහීමක පත් වූයේ ලහිරු තිරිමාන්න පමණි. ඔහු පන්දු 121කට මුහුණ දෙමින් ලකුණු 46ක් රැස්කර ගැනීමට සමත් විය.

*නුවන් ප්‍රදීප්ට ඔස්ට්‍රේලියානු ඉදිරි තරඟ අහිමිවෙයි.!
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ඉදිරි ටෙස්ට් තරඟ දෙකම අහිමිවී තිබේ. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
හෝබාර්ට් හීදී පැවැති තෙදින පුහුණු තරඟයේදී පළමු ඉනිමේ පන්දු වාර දෙකක් පමණක් යැවූ නුවන් ප්‍රදීප් ආබාධයකට ලක් වූ අතර අනතුරුව ක්‍රීඩා කිරීමට නොහැකි බව තහවුරු වීමෙන් තරඟාවලියෙන් ඉවත් කර ඇත. ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයකු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි වැඩි දුරටත් වාර්ථාවේ.

*කුසල් මෙන්ඩිස් සුව අතට හැරෙන ලකුණු.!
පුහුණු තරඟයේ දී  ෂෝට් ලෙග් හී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කිරීමට හැකියාවක් ඇති බවට වාර්ථා වේ. ස්කෑන් පරීක්ෂණයක් මගින් ඔහුගේ ආබාධිත තත්වය පරීක්ෂාවට ලක්කොට ඇති අතර ඇඟිල්ලේ අස්ථි බිඳීමක් හෝ පිපිරීමක් සිදුව නොමැති බව සිදුකළ පරීක්ශණ වලදී තහවරු වී තිබෙනවා. මේ අනුව ලබන 24 වනදා දෙරට අතර ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇතැයි ඔස්ට්‍රේලියාවෙන් වාර්ථා වනවා.
සටහන : නුවන් ජයතිස්ස