මාවන් අතපත්තු කලකට පසු කියන කතාව

‘‘මගේ ක‍්‍රිකට් දිවියේ පිතිකරණයට පහසු කළේ සනත් ජයසූරිය සමග ඉනිම ආරම්භ කරන කාලයේ. ඔහු අනෙක් පැත්තේ ඉන්න විට ප‍්‍රතිවාදීන් නිතරම බලන්නේ ඔහුව දවා ගන්නේ කොහොමද කියන එකයි. මාව දවා ගැනීමට වඩා සනත් ජයසුරියගේ කඩුල්ල තමයි ප‍්‍රතිවාදීන්ට එදා වැදගත් වුණේ.’’ යැයි මාවන් පවසයි.
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 90 කට ක‍්‍රීඩා කළ මාවන් අතපත්තුගේ ටෙස්ට් තරග ආරම්භය කළු වළාවකින් වැසී ගියේය. 1990 දී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබු මාවන් එම තරගයේ ඉනිම දෙකේදීම ලකුණු නොලබා දැවී ගියේය. මාවන්ගේ පළමු ටෙස්ට් ඉනිම හය සටහන් වූවේ බිංදු පහක් සහ එක් ලකුණක් (0,0,0,1,0,0) වශයෙනි. මාවන්ගේ පිතිකරණයේ ඇති හැඩකාරකම නිසා ඔහුව එදා එළියට දැමීමට ඥාණාන්විත කි‍්‍රකට් තේරීම් කමිටු උත්සහ නොකළේය. අනතුරුව ටෙස්ට් ශතක 16 ක් සහ අර්ධ ශතක 17 ක් සමගින් මාවන් සිය ක‍්‍රිකට් දිවිය නිමා කරද්දී ඉනිමක සාමාන්‍ය සටහන් වුයේ 39.09 කි. ඒ සාමා්‍ය ගැන මාවන් අදටත් සෑහීමකට පත්නොවන බව සැබෑය.
‘‘මගේ වෘත්තිය අවසානයේ ටෙස්ට් තරග 90 කට පසු මගේ සාමාන්‍ය 40 ක් වගේ සටහන් වුණා. නමුත් ඒක ඉදිරි පළ පිතිකරුවෙකුට එතරම් හොඳ සාමාන්‍යයක් නෙමෙයි. අද කාලයේ ඉදිරි පෙළ පිතිකරුවකුගේ සාමාන්‍ය 50 ක් වගේ වෙනවා. මා සතුව ද්විත්ව ශතක හයක් තිබුණත් මම ලොකු ලකුණු ප‍්‍රමාණයක් ලබා නොගත් නිසා මගේ සාමාන්‍ය 40 කට සීමා වුණා.
ආරම්භක ටෙස්ට් ඉනිම අසාර්ථක වීමෙන් පසුව මාවන් ද්විත්ව ශතක හයකින් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවිය නිමා කිරීමට තරම් ඔහුගේ පිතිකරණයේ ඉවසිලිවන්තකම අදටත් ආදර්ශයකි. මාවන් ද්විත්ව ශතක හයක් ලබා ගැනීමට වාසනාවන්ත වූයේ කෙසේද?
‘‘මම ද්විත්ව ශතක ලබාගත් ආකාරය ගැන ආපසු හැරී බලන විට එයට හේතු කිහිපයක් තියෙනවා. එකක් පිතිකරණයේදී මා විනෝදයෙන් පන්දුවට පහරදීමයි. මට කොපමණ කාලයක් මැද ඉන්න පුළුවන්ද? ඒ වගේම කෑදරකම. මගේ වෘත්තිය ආරම්භයේදී ශූන්‍ය වු දේවල් නිසා මම සිතුවේ මට හොඳ ආරම්භයක් ලැබුණොත් එයින් උපරිම ප‍්‍රයෝජන ගන්නා බවයි.’’
මාවන් වැනි පිතිකරුවන්ට තාක්ෂණය කියා දීමට පුහුණුකරුවන්ට අවශ්‍ය නැත. ඔහුගේ පිතිකරණය තාක්ෂණය ඉගෙන ගන්නා ක‍්‍රීඩකයන්ට හොඳම මිනුම් දණ්ඩකි. මාවන්ගේ ඩ‍්‍රයිව් පහර චිත‍්‍රයක් මෙනි. නමුත් මාවන්ටත් හොඳ පුහුණුකරුවන් සිටි බව ඔහු පවසයි.
‘‘සෑම පුහුණුකරුවෙකුටම ඔවුන්ගේ ශක්තීන් මෙන්ම දුර්වලතා තියෙනවා. නමුත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී ටොම් මූඩි මට හොඳම දේ ලබාදීලා තියෙනවා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවශ්‍ය හොඳ උපක‍්‍රම ඔහු ලග තිබ්බා. ක‍්‍රීඩකයකුට අවශ්‍ය දේ ලබාදීමට තරම් ඔහුට හොඳ ශක්තියක් තිබ්බා.’’
2000 වසරේදී මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව නොදැවී ද්විත්ව ශතකයක් (207* ලබා ගැනීමට මාවන්ගේ ද්විත්ව ශතක හය අතර අමතක නොවන සිදුවීමකි. වකාර් යුනිස්, වසීම් අක‍්‍රම්, මුෂ්තාක් අහමඞ් වැනි ප‍්‍රබල පන්දු යවන්නන්ට එරෙහිව ඔහු එදා එම හපන්කම කර තිබුණි.
මාවන් අතපත්තුගේ පුහුණුකාර දිවිය සහ වර්තමානයේ විස්සයි විස්ස තරග සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙවැනි අදහසකි. ‘‘මම හිතන්නේ නැහැ මගේ ක‍්‍රීඩා ශෛලිය අනූව විස්සයි විස්ස තරග මට ගැලපෙයි කියලා. මේ යුගයේ මම සිටියානම් ඒ තරග රටාවට මම අකමැතියි. ක‍්‍රීඩා කිරීමේදී හෝ පුහුණු කිරීමේදී ආපසු කණ්ඩායමට ලබාදිය හැක්කේ අත්දැකීම් පමණි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මම පුහුණුකරු විදිහට ඉන්න කාලයේ අපිට හිටියා තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වගේ පිතිකරුවන්. මහේලට පන්දුවට පහරදිය යුතු ආකාරය පුහුණුකරුවකු වශයෙන් මට කියාදීම අසීරුයි. නමුත් ඔවුන් සමග අතීතයේ අත්දැකීම් සහ තත්ත්වයන් ගැන කතා කරන්න පුළුවන්.’’
සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු දෙදෙනාම දකුණු පළාතේ බැවින් ඔවුන් වයස අවුරුදු 13 සිට දැන හඳුන ගත් චරිත දෙකකි. ‘‘සනත් සහ මම එකම ප‍්‍රදේශයෙන් පැමිණියේ. අපි වයස අවුරුදු 13 ඉඳන් හඳුනනවා. ඒ වගේම අරවින්ද, අර්ජුන, රොෂාන්, චමින්ද වාස් වැනි අය සමග ක‍්‍රීඩාගාරයේ සිටීමට ලැබීමත් වාසනාවක්. ඔවුන් සමග ලොකු අත්දැකීම් සම්භාරයක් බෙදා ගත්තා. අපි කණ්ඩායමක් විදිහට බොහෝ කාලයක් ක‍්‍රීඩා කළ එකමුතු කණ්ඩායමක්. අපේ රටේ කී‍්‍රඩා ලෝලීන් නිතරම ඒ කණ්ඩායම පසුපස හිටියා. ඉහළ මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම ඇතැම් විට පීඩනයක්. ඒක අපිට එරෙහිව ක‍්‍රීඩා කරන 11 දෙනා පමණක් නොවන සෑම තැනකම ඒ පීඩනය තියෙනවා. ඒ පීඩනය සමහර විට ක‍්‍රිකට් ආයතනයෙන් වෙන්න පුළුවන්, මාධ්‍යයෙන් වෙන්න පුළුවන්. නමුත් අනවශ්‍ය දේ 11 දෙනා අතරට නොයැවීමට පුහුණුකරු බලාගත යුතුයි.
මම හිතන්නෙ නැහැ පුහුණුකරුවකු කණ්ඩායමේ සියලූ දේ වෙනස් කරයි කියලා. ඉහළ මට්ටමේ ක‍්‍රීඩකයකුගෙන් පුහුණුකරුවකු උපරිම දේ ලබා ගැනීමට දායක වෙනවා. නමුත් ඔහු වෙනසක් කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස ලෝකයේ හොඳම පුහුණුකරුට දුර්වල පැත්තක් ලබාදුන්නහොත් ඔහුට ඊළඟ දවසේ ඒ කණ්ඩායම ලෝකයේ හොඳම කණ්ඩායම කරන්න බැහැ. කවුරු හරි හොඳ නම ඔහු ඊළඟ දවසේ නරක වෙන්න පුළුවන්. ඒක දෙපැත්තටම තියෙනවා
එදා තිබ්බ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වඩා වර්තමානයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනස් වී ඇති බවත් අර්ජුන රණතුංග නායකත්වයේ ලක්ෂණ විශිෂ්ඨ බවත් මාවන් පවසයි.
‘‘අද අප දකින ක‍්‍රිකට් ක‍්‍රීඩාව මීට දශක දෙක තුනකට තිබුණට වඩා ගොඩක් වෙනස්. දැන් සෑම කෝණයකින්ම තරගය ආවරණය කරන්න කැමරා 30 ක් විතර තියෙනවා. සෑම දෙයක්ම එතනදි පටිගත කරනවා. ඒ වගේම කණ්ඩායම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් තමයි එන්ජිම. ඔවුන්ගේ අත්දැකීම් තමයි අනිත් අය බෙදාගන්නේ. මම අර්ජුන රණතුංගගේ නායත්වය ඉගෙන ගත්තා. ඔහු තරග අවසන් කරමින් සිය ගෞරවය දිනා ගත්තා. සමහර විට ඔහු තමයි ලෝකයේ හොඳම තරග අවසන් කරන්නන් අතර දෙවැනියා. ඒ කියන්නෙ ජාවෙඞ් මියාන්ඩෑඞ්ට පසුව.
1996 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ මාවන් අතපත්තුට එදා එකදු තරගයක් හෝ ක‍්‍රීඩා කිරීමට නොලැබුණි. නමුත් එ කාලයේ සිටි පුහුණුකරුවා වු ඬේව් වට්මෝර්ද මාවන්ට හොඳ පුහුණුකරුවෙකි. ‘‘ඬේව් මට හොඳ උපදෙස් ලබාදුන්නා. ඔහු මාගේ විශාල පීඩනය ගෙන මා සමග කතා කරමින් මගේ පිතිකරණයට උදව් කළ අයෙක්. ’’
මාවන්ගේ ක‍්‍රිකට් දිවියේ සමුගැනීම ආරම්භය මෙන්ම වේදනාබරය. ඒ කණ්ඩායමේ නායකයා ආබාධයක් හේතුවෙන් එළියට ගොස්නැවත එද්දීඔහුට ලැබුණ කුඩම්මාගේ සැලකිල්ලය. ඒ සම්බන්ධව මාවන් පවසන්නේ මෙවැනි අදහසකි. ‘‘2007 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දියාවේ තිබුණ තරග හයක තරගාවලියේදී මම චාමර සිල්වාට අංක පහ ස්ථාන ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඔහු විශාකාපට්නම් හී පැවැති තරගයේදී ශතකයක් ලබා ගත්තා. පස්සෙ 2007 ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරගයකදී මට උපුල් තරංග සමග ආරම්භක පිතිකරු විදිහට ක‍්‍රීඩා කරන්න කිව්වා. ඒ ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරන වෙලාවේ කළමණාකාරීත්වය මට සාධාරණයක් නොකරන බ වමට හැඟුණා. මම එදා ඔවුන් සමග සාකච්ඡුා කරන්න ගියත් කිසිවෙකු මා සමග කතා කළේ නැහැ. මම එළියට වෙලා ඉන්නෙ ඇයි කියලා කියන්න ඔවුන්ට හේතුවක් තිබුණෙ නැහැ. මා සමග කතා කිරීමට ඔවුන්ට ධෛර්යයක් තිබුණෙ නැති බව මට විශ්වාසයි.’’