වංචා ක්‍රීඩා සංගම් තුනක් බ්ලැක් ලිස්ට් වෙයි

ශ්‍රී ලංකා සූමෝ, ජූ ජුට්සූ හා සැම්බෝ යන ක්‍රීඩා සම්මේලන ත්‍රිත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගනියි. ඊයේ දිනයේ නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වූයේ එම සංගම්වල ලියාපදිංචිය අහෝසි කොට ඇති හෙයින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක භාවය අවලංගු වන බවය.

මේ සම්මේලනවල හිටපු සභාපතිවරයකු සිදු කරමින් පවතින මූල්‍ය වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි රැසක් ලැබී තිබූ අතර ඒ අනුව පරීක්ෂණයක් ද සිදු කෙරිණි. එකම පුද්ගලයකු ක්‍රීඩා සංගම් කිහිපයක ප්‍රධානියා ලෙස සිටින බවට හා මේ සම්මේලන කිසිදු ක්‍රියාකාරීත්වයකින් තොරව නමට පමණක් පවත්වාගෙන යන ‘බෝඩ් ලෑලි’ සංගම් බවට හඳුනා ගැනීමට මේ පරීක්ෂණයේදී හැකි වී තිබේ.

මෙහි හිටපු සභාපතිවරයකු සම්මේලන ලිපි ශීර්ෂ භාවිතා කොට අන්තර්ජාතික සම්මේලනවලින් තරගාවලි සඳහා ආරාධනා පත්‍ර ගෙන ඒ ඔස්සේ ක්‍රීඩකයන් රට පටවන ජාවාරමක් සිදු කරන බවට ‘දිනමිණ’ පුවත්පත මුල්වරට කරුණු අනාවරණය කළේය. මේ ජාවාරම හරහා ලක්ෂ ගණන් මුදල් ගෙන ඇති අතර, මුදල් ගෙන විදෙස් ගත කිරීමට නොහැකිවූ අය ඒ පිළිබඳ පොලිස් පැමිණිලි ඉදිරිපත් වූ අවස්ථා රැසක් වාර්තා වී තිබිණි. එමෙන්ම සූමෝ, ජූ ජුට්සූ හා සැම්බෝ අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනයට දෙන ක්‍රීඩා භාණ්ඩ අළෙවි කිරීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක වෙමින් පැවැතිණි.

ශ්‍රී ලංකා සැම්බෝ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු හා හිටපු ලේකම්වරියක් සම්මේලනයේ ඊ මේල් ලිපිනය, ලිපි ශීර්ෂ, නිල මුද්‍රා භාවිතා කොට රාජ්‍ය දෙපාර්තමේන්තු, අන්තර්ජාතික සම්මේලන, ක්‍රීඩා අමාත්‍යාංශය, පෞද්ගලික බැංකු හා මෙරට ක්‍රීඩා සමාජ වෙත කූට ලේඛන සකසා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිලි ඉදිරිපත් විය.

ශ්‍රී ලංකා සැම්බෝ සම්මේලනයේ හිටපු සභාපතිවරයා විසින් ව්‍යාජ නිලධාරී මණ්ඩලයක් සකසා තිබී ඇති අතර එම සියලු දෙනාගේ ලිපින එම හිටපු සභාපතිවරයා පදිංචි නිවසේ ලිපින බවද සඳහන් විය. තවද එම ව්‍යාජ නිලධාරී මණ්ඩලයේ උප තනතුරු සඳහා නම් කොට ඇති කිසිදු පුද්ගලයකුගේ ලිපින හෝ දුරකතන අංක සඳහන් කිරීමට ද අපොහොසත් වී ඇත. මේ සියලු නම් පසුගිය වසරේ ව්‍යාජ ලෙස සකස් කරන ලද මහ සභා වාර්තාවකින් බලයට පත් කොට හිටපු සභාපතිවරයා මේ ජාවාරම කර ගෙන ගොස් ඇත.

ශ්‍රි ලංකා සැම්බෝ සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සිව්වසරක කාලයේදී ජාතික ශූරතාවලි වෙනුවෙන් යැයි පවසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මුදල් එකතු කොට පෞද්ගලික පරිහරණයට යොදා ඇතැයි ද තවත් චෝදනාවක් නැඟී තිබිණි. සම්මේලනයේ භාණ්ඩාගාරික ලෙස වයඹ විශ්වවිද්‍යාලයේ සැම්බෝ ක්‍රීඩක ඩී.එම්.එන්. දිසානායක යන අයකුගේ නම භාවිතා කළද එම පුද්ගලයා තනතුර සම්බන්ධව කිසිවක් නොදන්නා බව පවසා සහකාර ක්‍රීඩා සංගම් භාර ක්‍රීඩා අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කර ඇත. වසර 2018 හා 2020 යන කාල අතරතුරදී තම නාමය භාවිතා කරමින් මුදල් වංචා කර ඇති බවට තොරතුරු ඇති බවත් තමන් කිසිදු ලේඛනයකට අත්සන් තබා නැති බවත් දිසානායක මහතා ලිඛිතව දැනුම් දුන්නේය.

මේ හිටපු සභාපතිවරයා ලිතුවේනියාවේ පැවැති තරගාවලියක් සඳහා ව්‍යාජ තොරතුරු සපයා ලිතුවේනියා සැම්බෝ සම්මේලනයෙන් ආරාධනා පත්‍ර ගෙන්වා ඒවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෙන්වා කූට ලෙස මුදල් ගෙන ඇති අතර ප්‍රංස ග්රෑ‍න්ඩ් ස්ලෑම් තරගාවලිය සඳහා කිසි දිනෙක සැම්බෝ ක්‍රීඩා නොකළ පිරිසකට සැම්බෝ සම්මේලනයේ ඊමේල් ලිපිනය භාවිතා කොට ආරාධනා පත්‍ර ගෙන්වා මුදල් ගැනීම, රොමේනියාවේ පැවැති තරග සංචාරයකට ද ඒ ආකාරයෙන්ම මුදල් ගැනීම සම්බන්ධ චෝදනා එල්ල විය.

අමෙරිකාව තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය උත්සන්නව පවතින කාලයේදී අමෙරිකානු සූමෝ සම්මේලනයේ සභාපතිවරයා විසින් අන්තර්ජාතික තරගාවලියක් පැවැත්වීම උදෙසා ආරාධනා පත්‍ර එවා ඇතැයි පාර්ශ්ව කිහිපයක් නොමඟ යවා තිබූ අතර, වසර 2016දී කොරියාවේ පැවැති ලෝක සටන් කලා ක්‍රීඩා ශූරතාවලියට ගොස් මුදල් ගෙන කිහිපදෙනකු කොරියාවේදී මුදාහැර තිබේ. මේ එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් හෝ ඇතැම් අවස්ථාවලදී එම වටිනාකමට දේපල ගෙන ඇතැයිද මුදල් වංචා සම්බන්ධ පොලිසියට පැමිණිලි ලැබී ඇත.