සමීගේ ලෝක කණ්ඩායමට ශූරතාව

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ඕමානයේ පැවැති ලෙජන්ඩ් ක්‍රිකට් තරගාවලිය ශූරතාව දිනා ගැනීමට ඩැරන් සමීගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්ඩායම සමත් විය. ඒ ආසියානු කණ්ඩායම ලකුණු 25 කින් පරාජය කරමිනි.
අවසන් මහා තරගයේදී මිස්බා උල් හක්ගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායමට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ ලෝක කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවනදී කඩුලු 5 කට ලකුණු 256 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ආසියානු කණ්ඩායම ලකුණු 231 ක් ලැබීය.
පළමුව පිති ප්‍රහාරය දියත් කළ ලෝක කණ්ඩායම වෙනුවෙන් කෙවින් පීටර්සන් පන්දු 22 කදී හයේ පහර පහක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 48 ක්ද කොරේ ඇන්ඩ්‍රසන් පන්දු 43 කදී හයේ පහර අටක් සහ හතරේ පහර හතක් සමග ලකුණු 94 ක්ද ලබා ගත්තේය. මීට අමතරව බ්‍රැඩ් හැඩින් පන්දු 16 කදී ලකුණු 37 ක් සහ ඩැරන් සමී පන්දු 17 කදී ලකුණු 38 ක් ලැබීය.
පන්දු යැවීමේදී චමින්ද වාස් ලකුණු 47 කට කඩුල්ලක්ද නුවන් කුලසේකර ලකුණු 45 කට කඩුලු 3 ක්ද ලබා ගැනීමට සමත් විය.  මුරලිදරන් ලකුණු 40 කට එක් කඩුල්ලක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ඇරඹු ආසියානු කණ්ඩායමේ පළමු කඩුල්ලට සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 33 කදී ලකුණු 57 ක සබඳතාවක් එක් කළේය. එහිදී ඩිල්ෂාන් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 25 කට පිටියෙන් ඉවත් විය. සනත් ජයසූරිය පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර පහක් සමග ලකුණු 38 ක් ලබා ගත්තේය. උපුල් තරංග පන්දු 16 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමග ලකුණු 25 ක් ලබා ගත් අතර ඔහු සමස්ත තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
මොහොමඩ් යුසුෆ් පන්දු 21 කදී හයේ පහර හතරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 39 ක්ද නුවන් කුලසේකර පන්දු 6 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමග ලකුණු 17 ක්ද ලබා ගත්තේය. චමින්ද වාස් පන්දු පහකදී ලකුණු 15 ක් ලැබීය.