Home ATHLETICS 98 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා උළෙල හෙට ඇරැඹේ

98 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා උළෙල හෙට ඇරැඹේ

ජාතික ශූරතා මලල ක්‍රීඩා උළෙල 98 වැනි වරටත් පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව තරගාවලිය හෙට සිට (26 වැනිදා) 29 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පවතින කොරෝනා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යය නිර්දේශයන්ට අනුකූලව අදාළ බලධාරීන්ගේ නිර්දේශයන්ට යටත්ව මෙවර තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව මෙවර තරගාවලිය කිසිදු ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කර තිබීම විශේෂත්වයකි. එහිදී සෞඛ්‍ය නිළධාරීන්ගේ සහ ක්‍රීඩා වෛධ්‍ය ඒකකයේ උපදෙස්වලට අනුව තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව පුහුණුකරුවන්, තාක්ෂණික හා වෙනත් කාර්ය මණ්ඩලයේ සේවක නිලධාරි මහතුන්ට අමතරව තෝරාගත් මාධ්‍යවේදීන්ට පමණක් මෙවර තරගාවලිය පැවැත්වෙන සුගතදාස ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබා දී තිබේ.
මෙවර තරගාවලියේදී 150කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් තරග ඉසව් 38ක් නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ. දින හතරක් පුරා පැවැත්වෙන තරගාවලිය සෑම දිනකම උදෑසන 6.30ට ආරම්භ කර දහවල් 11.30 වන විටදී අවසන් කිරීමට සුළසුම් කර ඇති බවට සංවිධායක මණ්ඩලය දැනුම් දී තබේ.