ශ්‍රී ලංකා පිල එළියේ තබමින් ලෝක කුසලාන ඇරඹෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය 12 වැනි වරට සංවිධාන කරන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (4) නවසීලන්නතයේදී ආරම්භ වෙයි.

කණ්ඩායම් 8ක් එක් වන තරගාවලියේ මූලික වටයේ තරග අද සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන 4 හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. එම තරග දෙක මේ මස 30 සහ 31 දෙදින පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ලබන මස 3 වැනිදා ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ.

සත්කාරක නවසීලන්තය සමඟ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශය මෙවර තරගාවලියකට එක්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර තරගාවලියට එක් වීමේ අවස්ථාව අහිමි වී ගියේ සිම්බාබ්වේහිදී පැවැති ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරමඟ නතර වීම හේතුවෙනි. මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය අහිමි වූයේ වසර 24කට පසු වීම විශේෂත්වයකි.

නවසීලන්තය සමඟ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව වේලාසනින්ම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටි අතර, සෙසු කණ්ඩායම් 3 තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්විණි. කෙසේ වෙතත් එම තරගාවලිය නතර වීමෙන් පසුගිය සැප්තැම්බර් මස 30 දා වන විට කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු අට අතර සිටි බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශයට ලෝක කුසලාන තරගාවලියට එක් වීමට අවස්ථාව හිමි විය. ශ්‍රී ලංකාව ඒ වන විට 9 වැනි ස්ථානයේ පසු වූ අතර, බංග්ලාදේශය කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූයේ පළමු වරටය.

මේ තරගාවලිය පසුගිය වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල පැවැත්වීමට නියමිතව තිබූ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය වසරකින් කල් දැමීමට අයිසීසීය කටයුතු කළේය.

මෙතෙක් පැවැති කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලි අතුරින් 6ක ශූරතා හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබේ. 1973 ලෝක කුසලාන ආරම්භ වසරේ ශූරියන් වූ එංගලන්තය අවසන් වරට 2017 වසරේ පැවති තරගාවලියත් සමඟ ශූරතා 4කට හිමිකම් කියන අතර, නවසීලන්තය එක් වරක් ශූරියන් වී තිබේ.