විස්සයි විස්සේදී ගොඩ යන්න මැතිව්ස්ටත් මාස 14 කට පසු තැනක් එයි

විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් ශ‍්‍රී ලංකා සංචිතය සූදානම් කෙරෙන ප‍්‍රධානතම තරගාවලියක් ලබන 05 වැනිදා ඉන්දියාව සමගින් ආරම්භ වේ. අදාළ තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද ශ‍්‍රී ලංකා සංචිතයට වසර එකහමාරකට පසුව ඇන්ජලෝ මැතිව්ස්ව ඇතුළත් කර තිබේ.
පන්දු යැවීමෙන් වැලකී සිටීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට විස්සයි විස්ස සංචිතයේ ස්ථානය අහිමි වූ බව මීට පෙර තේරීම් කමිටු සභාපතිවරයා සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පැවසුවද මැතිව්ස් සිය පන්දු යැවීම ආරම්භ කිරීමත් සමග යළිත් විස්සයි විස්ස සංචිතයට නම් කර තිබේ.
පාකිස්තානය සමග පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුරදී මැතිව්ස් සිය පන්දු යැවීමේ පුහුණුවීම් ආරම්භ කළ අතර ඔහු විස්සයි විස්ස කණ්ඩායමට පැමිණීම සම්බන්ධයෙන් පවසන්නේ, ‘‘ඇත්තටම මට විස්සයි විස්ස තරගවලදී පන්දුවාර හතර යවන්න පුළුවන්. මම පාකිස්තාන සංචාරයේදී ටික ටික පන්දු යැවීම ආරම්භ කරලා දැන් හොඳ තත්ත්වයේ ඉන්නවා. තේරීම් කමිටුව කියන දේ මම කළ යුතුයි. නමුත් මම එක්දින සහ ටෙස්ට් තරගවලදී පන්දු යවන්නේ නැහැ ආබාධ වෙයි කියලා.’’ යනුවෙනි.
ඇන්ජලෝ මැතිව්ස්ට අමතරව ධනංජය ද සිල්වාද විස්සයි විස්ස සංචිතයට එක්කර තිබේ. ශ‍්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ඔස්ටේ‍්‍රලියාව සමග විස්සයි විස්ස තරගාවලිය ක‍්‍රීඩා කළ සංචිතයේ සිටි ෂෙහාන් ජයසුරිය සහ නුවන් ප‍්‍රදීප් වෙනුවට මැතිව්ස් සහ ධනංජය එක්කර තිබේ.
ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ශ‍්‍රී ලංකා නායක ලසිත් මාලිංගට නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක තරගාවලියක් බවට පත්ව ඇත්තේ ඔහු 2019 වසරේදී මෙහෙයවූ විස්සයි විස්ස තරග නවයම පරාජයට පත්ව තිබීමයි. ඒ අනූව විස්සයි විස්ස ලෝක කුසලාන සඳහා ශ‍්‍රී ලංකා සංචිතය සකසා ගැනීමට මෙම තරගාවලිය ප‍්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති අතර නව පුහුණුකරු මිකී ආතර් විස්සයි විස්ස කණ්ඩායම සමග සහභාගී වන පළමු තරගාවලියද මෙය වේ.
ඉන්දියාව සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ඉලක්ක කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉකුත් දින කිහිපයේදී කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පුහුණු සැසි කිහිපයකටම සහභාගි විය. ඒ අනූව හෙට (02 දා* ශ‍්‍රී ලංකා පිල ඉන්දියාව බලා පිටත්ව වන අතර පළමු තරගය ගුවාහට් හිදී ලබන 5 වැනිදා පැවැත්වේ. දෙවැනි තරගය ලබන 7 වැනිදා ගෘහස්ථි හිදීත් තෙවැනි තරගය ලබන 10 වැනිදා පූනේ හිදී පැවැත්වේ.
ශ‍්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම
ලසිත් මාලිංග (නායක*, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප‍්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඕෂධ ප‍්‍රනාන්දු, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර, ඉසුරු උදාන සහ කසුන් රාජිත